වහල් භාවයෙන් නිදහස් ද?

  15 පෙබරවාරි 2012

Article summary

මායාව විනිවිද දකිමින් යථාර්ථය නුවණින් දකින තැනැත්තා, මේ අසාරවත් මුලා සහගත සංසාර පැවැත්ම නමැති උගුලට හසු වී ප්‍රමාද නොවන ප්‍රඥාවන්තයෙකි!

දැන් මේ කියන කාරණය නුවණින් ගැඹුරින් දකින්නට උත්සාහ කරන්නකෝ.  ඔබ වඩාත් ආදරය කරන... ඔබ වඩාත් ආදරයෙන් ලඟින් ම සලකන... ඔබට වඩාත් ප්‍රිය... පුද්ගලයෙක් හෝ යමක් ගැන සිතන්න.  ඔබට හිතෙනවා නේද ඔබගේ ජීවිතයේ වඩාත් වටිනා ම පුද්ගලයා හෝ වස්තුව එය බව?

දැන් නුවණින් හොඳින් හිතන්න... ඔබ වඩාත් ම කරදර වෙන්නේ කා ගැන ද?  අනතුරක් කරදරයක් වේවි යැයි බියක් ඇති වෙන්නේ කා ගැන ද? නැති වේවි යැයි තැති ගැන්මක් ඇති වෙන්නේ... රැක ගැනීමට වෙහෙස වෙන්නේ... වඩාත් ම අසහනකාරී හැඟීම් ඇති වෙන්නේ කව්රුන් නිසා ද?

ඔව්! දැන් ඔබට සමහර විට හිතට ඇවිත් ඇති ඔබ වඩාත් ම ප්‍රිය කරන පුද්ගලයෙක් හෝ යමක් ගැන.  පිළිතුර එය නම්, ඔබට යමක් අමතක වෙලා වෙන්නට පුළුවන්... ඒ නිසා තවත් ටිකක් ගැඹුරින් මේ කියපු දේ ගැන හිතන්න.

ඇත්තටම ඔබ වඩාත් සැලකිලිමත් වෙන්නේ... පුංචි හෝ කරදරයක් නොවෙන්නට වග බලා ගන්නේ...  වඩාත් ම රැක ගැනීම පිණිස කටයුතු කරන්නේ... ආරක්ෂා කර ගන්නට හදන්නේ... අහිමි වීමේ බිය ඇත්තේ... ඔබේ ඇස් දෙක? කන් දෙක? නහය? දිව? කය? ඒ කියන්නේ ඔබ “මම” කියන තමන් ම නොවේ ද?

ඇහැට පුංචි දූවලි කෑල්ලක් වත් යන්නේ නැති වෙන්න රැක ගන්න දරන උත්සාහය?  කණට පුංචි සතෙක් වත් ඇතුළු වෙන්නට නො දී රැක ගන්න දරන උත්සාහය? හෙම්බිරිස්සාවක් වත් හැදිලා නහය ටිකක් අවුල් වෙනවාට කැමති නෑ නේද?  රස්නෙන් තේ එකක් බීලා දිව පිච්චෙනවාට කැමති නෑ නේද? ලෙඩ වීම, ජරාවට පත් වීම, මරණය මෙතරම් ප්‍රතික්ෂේප වන කාරණා වෙලා තියෙන්නේ කය රැක ගන්නට ඇති කැමැත්ත නේද? 

මේ “මම” කියන දේත්... මුලින් ම අප කතා කල “මගේ” කියන දේවල් අපට වඩාත් වටිනා ම දේවල් නේද?

එහෙනම් ඉතින් වැඩියෙන් ම වටිනා ම දේ රැක ගන්නට කොතරම් වෙහෙස වෙන්නට වෙනවා ද කියලා දැනෙනවා ද?  ඒ වටිනා ම දේ තුලින් කොතරම් අසහනයක්, බියක්, වෙහෙසක්, දාහයක් ලැබෙනවා ද කියලා නුවණින් බලන්න.

උදේ සිට රෑ වෙන තුරු “ඇහැට පේන්න ඕන දේවල් පෙන්නන්නට... ඇහැට පේන්න ඕන නෑ කියන දේවල් නො පෙන්වා ඉන්නට...” “කණට ඇහෙන්න ඕන දේවල් අසා ගන්නට... කණට ඇහෙන්න ඕන නෑ කියන දේවල් අසා නො ගන්නට...” “නහයට, දිවට, කයට දැනෙන්න ඕන දේවල් දනවා ගන්නට... දැනෙන්න ඕන නෑ කියන දේවල් දනවා නො ගන්නට...”  කොතරම් කැප වෙනවද?  කොතරම් වෙහෙස වෙනවා ද?

වහලෙක් වගේ වැඩ නේද? පිරිසිදු කරනවා... රැක බලා ගන්නවා... ආහාර සපයනවා... ඉල්ලන ඉල්ලන හැම දේම ලබා දෙනවා නේද? නැගිට්ට වෙලාවේ ඉඳලා නින්දට යන තුරු ම මේක නේද වහල් සේවය වගේ සිදු කරන්නෙ?

නමුත් ඔබට ආපසු ලැබෙන්නේ මොනවද?

පිරිසිදු කරන්න කරන්න අපිරිසිදු වෙන... රැක බලා ගන්න ගන්න කැඩී බිඳී විනාශ වී යන... ආහාර දෙන්න දෙන්න බඩගින්නේ කෑ ගහන...  ඇස, කණ, දිව, නාසය, කය, මන කියන පවුලේ ලඟම ඥාති හිත මිත්‍රාදීන් 6 දෙනාත්... ඒ 6 දෙනා විසින් “ඉතා හොඳයි” කියලා වෙන් කර ගත්ත තවත් ඒ වගේම ගොඩවල් ටිකකුයි නේද?

අන්තිමට මේ නඩත්තුවේ හෙම්බත් වෙලා ඉන්නේ කව්ද?  නමුත් ඔබට ඒ කිසිවක් එපා වෙනවද?  නෑ නේ නේද?  වහල් සේවය... වහලෙක් වගේ වැඩ... චෝදනාවක් නැතිව... පැමිණිල්ලක් නැතිව... සද්ද නැතිව වහලෙක් වගේ වැඩ... ලැජ්ජා නැද්ද?

හතුරෙකුටත් වඩා අන්ත නැත්ද මේ මිතුරන් ලෙසින් ලං කර ගත්ත ප්‍රිය කරන දේ සියල්ල?  ඔබ නිකම් නැටවෙන රූකඩයක් වගේ... මිතුරු වෙසින් ඉන්න හතුරා ව හඳුනා ගත්තේ නැත්නම් වහල් භාවයෙන් නිදහස් වෙන්න නම් හම්බ වෙන්නේ නෑ.  “මම, මගේ” ලෙසින් මේ විදියට වරදවා ගත්ත කාරණා රැසක් තියෙනවා.  ඒ දේවල් තුල සිරකාරයෙක් වෙලා වහල් සේවයේ නිරත වෙලා ඉන්නවා. 

එසේ නම්, නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටිමින් “වහල් සේවය” ඉක්මවා නැති පැවැත්ම නමැති සිර ගෙදරින් නිදහස් වන්නට කටයුතු කර ගන්න!  ඇයි දන්නවා ද?  මේ “වහල්භාවය” කියන කාරණයෙන් විමුක්තිය ලබන්නට හැක්කේ ප්‍රඥාවන්තයා ට පමණයි!  ඒ නිසා නැණවත් ව විවෘතව විමසන්න - ඔව්! තමන් ගැනම!