ප්‍රියයන්ගෙන් වෙන් වීමෙන් නිදහස් ද?

  06 පෙබරවාරි 2012

Article summary

The one who reflect the meaningless of this existence through the separation from the loved ones, is a wise being who is not going to delay with the process of any kind of associations in this existence!

ඔබට ඔබේ ජීවිතයේ ප්‍රියයන් කොතරම් ඉන්නවද?  පුද්ගලයන් වේවා... සතුන් වේවා... ජීවි වේවා අජීවි වේවා... ඔබ කොතරම් ප්‍රිය කරන දේවල් තිබෙනවා ද?  මේ වන විට ඒවායෙන් කීයකින් වෙන් වන්නට ඔබට සිදු වෙලා තිබෙනවා ද?

ඔබ කොතරම් “එපා” කිව්වත්... “බෑ” කිව්වත්... ඔබ ප්‍රිය කරන දේවල් වලින් වෙන් වීම වළක්වා ගන්නට ඔබට හැකි වුනා ද?  හැකි වේවි ද? 

මේ මොහොතේ ඔබ ප්‍රිය කරන පුද්ගලයෙක් හෝ වේවා ඔබ ආදරයෙන් ඇති කරන සුරතල් සතෙක් හෝ වේවා... ඕනෑම ඔබ ප්‍රිය කරන දෙයක් සිහිපත් කර ගන්න.  එය තවමත් ඔබට අහිමි වෙලා නම් නෑ... ඔබ ඒ දේ අහිමි වෙනවා ට කැමති ද?  නමුත් ඔබගේ කැමැත්ත හෝ අකමැත්ත අනුව කටයුතු සිදු වෙනවද? ඔබට ඔය ඔබේ ප්‍රියයන්ගෙන් වෙන් වීම කියන මොහොතට මුහුණ දෙන්නට ම සිදු වෙනවා නේද?  එය මොන වගේ හැඟීමක් වේවි ද?

මේ තමයි පැවැත්ම...  ඔබ ඉතාමත් අගය කරන හොඳයි කියන පැවැත්මේ ස්වභාවය.  ඔබ ආදරෙන් ලං කර ගන්නට හැම දේකටම... ප්‍රිය බවක් දැනෙන හැමදේකින්ම ඔබට වෙන් වන්නට සිදු වෙනවා.  ඒ දුක... අසහනය... ලබන්නට ම වෙනවා. 

අප්‍රිය දේවල් වලින් වෙන් වන්නට සිදු වීම ඔබගේ සිතට සහනයක් ගෙන දෙන විට ප්‍රිය දේවල් වලින් වෙන් වන්නට සිදු වීම ඔබගේ සිතට අසහනයක් ම ගෙන දෙනවා.  වෙන් වීම හැම විටම හොඳ හෝ නරක නෑ නේද?  එය නරක වෙන්නේ ඔබ කොතරම් බැඳුන... ප්‍රිය ලෙසින් භාර ගත්ත දෙයක් ද... කියන කාරණය අනුවයි.  කෙසේ නමුත් පැවැත්ම තුල “වෙන් වීම” කියන කාරණය අත්දකින්නට ම වෙනවා. ජීවි වේවා අජීවි වේවා හැම දේකට ම පොදු ධර්මතාවයක් තමයි වෙන් වීම.  එය ප්‍රියයන්ගෙන් වෙන් වීමක් වූ කල දැනෙන දැනීම මම කියන්න ඕන නෑනේ ඉතින් නේද?

එසේ නම්, නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටිමින් “ප්‍රියයන්ගෙන් වෙන් වීම” ඉක්මවා නැති පැවැත්මෙන් නිදහස් වන්නට කටයුතු කර ගන්න!  ඇයි දන්නවා ද?  මේ “ප්‍රියයන්ගෙන් වෙන් වීම” කියන කාරණයෙන් විමුක්තිය ලබන්නට හැක්කේ ප්‍රඥාවන්තයා ට පමණයි!  ඒ නිසා නැණවත් ව විවෘතව විමසන්න - ඔව්! තමන් ගැනම!