හතර වන නිමිත්ත දුටු කුමරු

හතර වන නිමිත්ත දුටු කුමරු

අසම සම වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ පුංචි වයසේ දී ම “පැවිදි රුව කියන නිමිත්ත” හෙවත් විසඳුම පිණිස කටයුතු කල යුතු බව, විමුක්තිය පිණිස, සත්‍ය පිණිස කටයුතු කල යුතු බව දුටු ආකාරය අරියපරියේසන සූත්‍ර දේශනාවේ මෙන්න මේ විදියට සාරාංශ ගත ව  තිබෙනවා.

“ මහණෙනි, මම බුදු වීමට පෙර බෝසත් වූයෙම් ම තෙමේ ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයක් ම සෙවීමි. තෙමේ ජරාධර්ම වූයෙම් ජරාධර්මයක් ම සෙවීමි. තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයක් ම සෙවීමි. තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයක් ම සෙවීමි. තෙමේ ශොකධර්ම වූයෙම් ශොකධර්මයක් ම සෙවීමි. තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයක් ම සෙවීමි.”

මේ කියන්නේ මොකක්දමේ කියන්නේ බෝ සත් අවදියේ දී සාමාන්‍ය එදිනෙදා පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින දේවල් ඇසුරු කර ගෙන කටයුතු කල ආකාරය ගැනයි.

“මහණෙනි, ඒ මට මේ අදහස විය: “කුමක් නිසා මම තෙමේ ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයක් ම සොයම් ද, තෙමේ ජරාධර්ම වූයෙම් ජරාධර්මයක් ම සොයම් ද, තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයක් ම සොයම් ද, තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයක් ම සොයම් ද, තෙමේ ශොකධර්ම වූයෙම් ශොකධර්මයක් ම සොයම් ද, තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයක් ම සොයම් ද? මම ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. ජරාධර්ම වූයෙම් ජරාධර්මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ශෝකධර්ම වූයෙම් ශෝකධර්මයෙහි ආදීනව දැන ශෝකයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයෙහි ආදීනව දැන සංක්ලිෂ්ට නො වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව” යි කියායි”.

මේ කියන්නේ පැවිදි රුව නම් වූ නිමිත්ත දුටු මානසිකත්වය උන්වහන්සේ ව විමුක්තිය පිණිසම යොමු කල ආකාරයයි.   

“මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරු යොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවු පියන් හඬද්දී, කෙස් රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.” 

මේ තියෙන්නේ මම මුලින් ම කිව්ව වගේ පැවිදි රුව කියන නිමිත්ත දුටු චරිතය විමුක්තිය සොයන්නේ බුදු දහම තුලින් පමණක් නොවේ.  බුදු කෙනෙක් පහල වෙන්නට කලින් බුදු දහම කියලා ප්‍රකට දහමක් නෑනේ.  එතකොට ඉන්නේ ඒ වගේ විමුක්තිකාමි අදහස් ඇතිව තපස් ජීවිත ගත කරන, පැවිදි ජීවිත ගත කරන චරිත.  අන්න ඒ චරිත හමු වෙලා තම තමන්ගේ විමුක්තිය පිණිස දේවල් විමසා විග්‍රහ කර ගැනීම මේ සතර වන නිමිත්ත හෙවත් පැවිදි රුව නම් වූ නිමිත්ත දුටු චරිතයේ ස්වභාවයයි. 

සිදුහත් කුමාරයා නම් වූ මහ බෝසත් චරිතයේ මේ පැවිදි රුව නම් වූ නිමිත්ත දැක සිටි කුමාරයා ගැන දැනෙන්නට නම් ඔබත් මේ පෙර නිමිති දුටු අවස්ථාවට පත් විය යුතුමයි.  නැත්නම් මේ මානසිකත්වයන් වටහා ගන්නට සැබැවින් ම නො හැකියි. 

ඉතින්, ඡන්න රථාචාර්ය ගෙන් “ඡන්න අර කව්ද?” කියලා පැවිදි රුව පෙන්වා අහන්නේ කුමාරයා ට ඒ ගැන අදහසක් තිබුණේ නැති නිසා නොවේ.  මේ කාරණා තුලින් රජ කුමාරයෙක් කියන්නේ සාමාන්‍ය ඉගැන්වීමක් වත් නැති චරිතයක් බවට තවත් පැත්තකින් හුවා දැක්වීමක් වෙනවා. 

බහුතරයක් යැපෙන පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින දත්ත මත පදනම් වූ මානසිකත්වය ඉතාමත් සීමා සහිතයි.  තවත් ආකාරයකින් අනතුරු සහගතයි.  මේ දේවල් තුල ඔබට අන්න ඒ කාරණා දැනෙන්න ඕන! නැත්නම් පෙර නිමිති දැකීම පිණිස වත් උනන්දුවක් කවදාවත් හට ගන්නේ නැති වෙයි.

ඡන්න රථාචාර්ය වගේ අන්ත අසරණ වූ පැවිද්ද හෙවත් විසඳුම මඟ හරවා ගන්නා අප වැනි අනාථ ලෝක සත්වයාට සැබෑ විමුක්තිය සැලසූ ඒ මහා ශාස්තෘන් වහන්සේට නමස්කාර වෙත්වා!!!  උන්වහන්සේගේ බෝසත් අවදියේ පටන් ගෙන ම තිබූ අසම සම ප්‍රඥාව, මහා කාරුණික ගුණය අප සැම වෙනුවෙන් සිදු කල ඒ මහා කැප කිරීම් සියල්ල ම ඔබගේ හදවතට දැනේවා!