විසඳුමේ නිමිත්ත දැක්ක ද?

විසඳුමේ නිමිත්ත දැක්ක ද?

මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක් කියන්නා වූ නිමිති තුන නො දකින තාක් ඒ පුද්ගලයා තුල මද හෙවත් අසිහියට පත් වූ කාරණා 3ක් ප්‍රබලයි.  තරණ බවින් මත් වී සිටීම හෙවත් යෞවන මදය, ලෙඩ නැති බවින් මත් වී සිටීම හෙවත් නීරෝගී මදය, ආයුෂ ඇති බව සිතා මත් වී සිටීම හෙවත් ජීවන මදය.  මේ මදය මූලික මට්ටමෙන් නැති වෙන්නේ “මහල්ලා, ලෙඩා, මල මිනිය” කියන්නා වූ කාරණා පෙර නිමිති සේ දැක අවබෝධයට පත් වූ අවස්ථාවේ දී යි.  ඉතින්, එසේ පෙර නිමිති දකින පුද්ගලයාට තමයි සතර වෙනි නිමිත්ත හෙවත් පැවිදි රුව නම් වූ නිමිත්ත නුවණින් මුණ ගැහෙන්නේ.

මේ නිමිති නො දැක බාහිර කාරණා ඔස්සේ පැවිදි ජීවිත, තපස් ජීවිත ගත කරන්නට එළඹෙන පුද්ගලයන් සිටිනවා.  ඒ අය එසේ බාහිර ස්වරූපය වෙනස් කර ගෙන ඒ තත්ව වලට පත් වුනේ පෙර නිමිති දැකලා නෙවේ.  අන්න එතකොට ඒ අය තුල තිබෙන යෞවන මදය, නීරෝගී මදය, ජීවන මදය ක්‍රියාත්මක වෙලා නිවැරදි පැවිදි ජීවිතයක්, තපස් ජීවිතයක් ගත කර ගන්නට නො හැකි වෙනවා.  සරලව ම අරමුණ විමුක්තිය කිව්වත් මානසිකත්වය විමුක්තිය පිණිස සත්‍ය ගවේෂණය පිණිස පිහිටන්නේ නෑ.  පෙර කිවූ යෞවන මදය, නීරෝගී මදය, ජීවන මදය ඉදිරිපත් වී සිත, කය, වචනය අසංවරයට පත් වීම නිසා ඒ විමුක්තිය පිණිස ලැබිය යුතු අවබෝධය ලබන්නට නො හැකි වෙනවා.

මේ බව අප මහා ශාස්තෘන් වහන්සේ විසින් සුකුමාල සූත්‍ර දේශනාවේ දී ම පෙන්වා දෙනවා.  තවත් ආකාරයකින් මේ විග්‍රහ ඒ සුකුමාල අවදියේ දී ම පුංචි කුමාරයෙක් වශයෙන් තමන් වහන්සේ මේ පැවිදි රුව කියන නිමිත්ත දුටු බව ප්‍රකාශ කිරීමක්.  එය වචනයෙන් මම මෙසේ දුටුවෙමි කියලා ප්‍රකාශ කරන තැනක් නොවන නිසා ඉතාමත් ගැඹුරින් නුවණින් අර්ථ, ධර්ම දැක අවබෝධ කල යුතු දහම් කොටසක්.

“මහණෙනි, මේ මද තුනෙකි. කවර තුනෙක යත්: යෞවන මදය, ආරොග්‍ය මදය, ජීවිත මදයි. මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන යෞවන මදයෙන් මත් වූයේ කයින් දුසිරිත් කරයි, වචසින් දුසිරිත් කරයි, සිතින් දුසිරිත් කරයි. හේ කයින් දුසිරිත් කොට වචසින් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණෙයි. මහණෙනි, ආරොග්‍යමදයෙන් මත් වූත් අශ්‍රැතවත් පෘථග්ජන ... ජීවිතමදයෙන් මත් වූත් අශ්‍රැතවත් පෘථග්ජන කයෙන් දුසිරිත් කරයි, වචසින් දුසිරිත් කරයි, මනසින් දුසිරිත් කරයි. කයින් දුසිරිත් කොට වචසින් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ (පව්කළහු) විවසව පතිත වන නිරයට පැමිණෙයි
මහණෙනි, යොවුන්මදින් මත් වූ ද මහණ ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි. මහණෙනි, ආරොග්‍යමදයෙන් මත් වූ ද මහණ ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි. ජීවිතමදයෙන් මත් වූ ද මහණ ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරළෙයි.”

සුකුමාල අවදියේ දී ම මහළු බව, ලෙඩ බව, මරණය කෙරෙහි ඇත්ත ඇති සැටි දැක දැන පෙර නිමිති දැක සිහියට පත් වූ ආකාරය පෙන්වා, පැවිද්ද හෙවත් විමුක්තිය නැති කර දමන්නට හේතු වන ප්‍රධානතම දුර්වලතා තුනක් වූ යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය නැති වූ ආකාරය පෙන්වා දෙනවා.  ඒ දුර්වලතා තුන විමුක්තිය නැති කර දමන්නේ කොහොමද කියලා පෙන්වා දෙනවා.  සත්‍ය ගවේෂණය පිණිස අවශ්‍ය කරන හික්මීම නැති කර දමන්නේ කොහොම ද කියලා පෙන්වා දෙනවා.  ගිහි මානසිකත්වයක් ඇති කර විමුක්තිකාමි මානසිකත්වය නැති කර දමන්නේ කෙසේ ද යන්න පෙන්වා දෙනවා.  මෙහි ගැඹුර නුවණින් දකින්න ඕන.  තවත් ආකාරයකින් මෙහි ගැඹුර තමයි මහල්ලෙක් ලෙඩෙක් මල මිනියක් කියන්නා වූ පෙර නිමිති නො දැක පැවිදි රුව නම් පෙර නිමිත්ත ලැබෙන්නේ නෑ කියන දේ.  ඒ නිසා ඒ සඳහා සිහිය පිහිටුවා ගැනීමට මඟ පෙන්වීමක් සම්මා සම්බුදු රඳුන් විසින් නිරන්තරයෙන් ම ලබා දෙනවා.

ඒ මඟ පෙන්වීම ලබා දෙන අවස්ථාව තථාගත සත්ධර්මය ලෙසින් වරදවා ගත හොත් මහළු බව, ලෙඩ බව, මරණය සහ පැවිද්ද කියන කාරණා වල පෙර නො ඇසූ විරූ තථාගත සත්ධර්මය සහිත ගැඹුරු සත්‍ය අවබෝධ කර ගන්නට නො හැකි වෙනවා. 

ඉතින්, මේ දේවල් මෙසේ වචනයෙන් ලියලා කියලා විග්‍රහ කර දීලා ඒ තැන බලහත්කාරයෙන් අවබෝධ කරවන්නට නො හැකියි.  ඔබ නැණවත් ව මේ කියන දේවල් විමසන තරමින් ඔබට ගැඹුර අත්දැක ගන්නට ලැබේවි!