දැන් ඉතින් මේ පැවිදි රුව නම් වූ සතර වෙනි නිමිත්තේ ගැඹුර අනුමාන වශයෙන් හෝ වැටහීමක් ඔබට ලැබෙන්නට අවශ්‍ය කාරණා කෙටියෙන් නමුත් විග්‍රහ වුනා යැයි මම විශ්වාස කරනවා.
ඡන්න රථාචාර්ය ත් පැවිදි වුනා. නමුත් මේ සතර පෙර නිමිති දැකලා තිබුණේ නැති නිසා විමුක්තිය පිණිස නෙවේ සිත පිහිටලා තිබුණේ. ඇහුම්කන් දුන්නේ නෑ. දන්න ඒවා ඉතින් මොන වට අහගන්නද නේද? ඔබ වුනත් සතර පෙර නිමිති දන්නවා කියලා නේ හිතන්නේ නේද? දැන් අනුමානයට හෝ වැටහෙනවා ද දන්නවා දන්නවා කිව්වට අප දන්න දෙයක් නැති බව. විමසන්න බොහෝ දේ ඇති බව. ඉතින්, ඡන්න හාමුදුරුවෝ නම් දුන්න දඬුවම ප්‍රබල නිසාම වරද වරද සේ දැක හික්මීම ඇති වෙලා විමුක්තිකාමි මානසිකත්වය ලැබී රහත් ඵලය ලැබ සසරෙන් විමුක්ත වුනා. එයත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුවයි. නමුත් ඔබ? අප තවමත් සසර තුලයි. බුදු දහම දන්නවා දන්නවා කියමින් බුදු දහම ලෙසින් සතර පෙර නිමිති මට්ටමටත් වඩා සරල මට්ටමක් විග්‍රහ කර ගනිමින් තථාගත ශාසනය ම මඟ හැර ගන්නවා.
පළමු අවස්ථාව - ඡන්න රථාචාර්ය ඇතුළු බහුතරයක් අප සිටින මානසිකත්වය. බාහිර පෙනෙන ඇහෙන දැනෙන සම්මත කර ගත් කාරණා මත යැපෙමින් පැවිදි රුව දකින අවස්ථාව. මේ පැවිද්ද, මේ තාපස ජීවිත සාර්ථක නෑ. ඒ තුල තිබෙන්නේ ම පැවැත්ම කෙරෙහි ම සිත තබා ගත් මානසිකත්වය. ශික්ෂාවක් නැති ගිහි බවට පත් වූ පැවිදි, තපස් ජීවිත. නමුත් බාහිරයෙන් ඇඳුමෙන්, ජීවන රටාවෙන්, ඉන්න තැන් අනුව හැසිරෙන විදිය අනුව පැවිදි රුවක්, තාපස රුවක් තමයි.
දෙවන අවස්ථාව - සත්‍යාවබෝධය පිණිස සකස් වූ සිහියක් සහිත විමුක්තිකාමි මානසිකත්වයක් ඇති ගිනි ගත් හිස නිවා දැමීම දෙවැනි කොට සත්‍ය ගවේෂණය කරන, ගැලවීමක්, සැබෑ විමුක්තියක් සොයන සැබෑ පැවිද්දෙක් බවට, තාපසයෙක් බවට පත් වීම. මෙයට ඔබ ගිහි පරිසරයේ සිටිනවා ද පැවිදි පරිසරයක සිටිනවා ද කියන බාහිර කාරණා, බාහිර හැසිරීම කිසි සේත් ම අදාළ නෑ.
තෙවන අවස්ථාව - පෙර නො ඇසූ විරූ පැවිද්ද ලබන අවස්ථාව. මේ පැවිද්ද ආර්ය සංඝ රත්නය නමින් ද හඳුන්වනවා. තථාගත ශාසනයක සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, රහත් කියන්නා වූ මාර්ග ඵල ලබමින් පෙර නො ඇසූ විරූ සත්‍යය අවබෝධ කර ගනිමින් ලෝකයෙන් එතෙර වන පැවිද්ද ලබන අවස්ථාව.
එසේ නම් ඒ චතුරාර්ය සත්‍ය නම් වූ ගැඹුරු දහම් දකින උත්තරීතර සංඝ රත්නයට ඇතුළු වීමට මේ බුද්ධ ශාසනය අවසන් වීමට පෙර උත්සාහ ගැනීම නැණවත් ඔබට භාරයි! උතුම් බුදු දහමේ ගැඹුර දකින්නට කැප වෙන්න! පෙර නිමිති දැක ගන්නට සිහියෙන් සිටින්න!
පෙර පිටුවට
විසඳුමේ නිමිත්ත දැක්ක ද?