පැවිදි රුව දුටු පුංචි කුමරු

පැවිදි රුව දුටු පුංචි කුමරු

අධික ප්‍රඥාවකින් යුතු මහ බෝ සත් චරිතය විපරීත අන්දමින් අර්ථ දක්වා තිබෙන අයුරුත් එය එසේ සිදු වන්නට තිබෙන සම්භාවිතාව සහ හේතුව කුමක් ද යන කාරණා සම්බන්ධයෙන් මේ වන විට ඔබට වැටහීමක් ලැබෙන්න ඇති.  එහෙනම් ඉතින් අපගේ මහා බෝ සත් සිද්ධාර්ථ කුමරු පැවිදි රුව දුටුවේ ඡන්න රථාචාර්ය තුලින් නොවේ කියන කාරණය ඔබට දැනටම සිතට නැගේවි.  නමුත්, ඔබ මේ කියන පෙර නිමිති අවස්ථා දැනටමත් අත්දැකලා නැත්නම් මේ කියන ස්වභාවය වටහා ගන්නට, නිසි අවබෝධයක් ලබන්නට ඉතාමත් අපහසු වේවි.  කාරණාවක් විදියට අනුමාන හෝ වැටහීමක් ලබා ගැනීම පිණිස මම මෙතැන විග්‍රහ කරන්නම්.  නමුත්, ඔබට එය කතන්දරයක් හෝ දහම් විග්‍රහයක් පමණක් ම වේවි.

සුකුමාල සූත්‍ර දේශනය ඇසුරෙන් පුංචි කුමාරයා කාලයේ දී ම මහ බෝසතාණන් වහන්සේ මහළු බව, ලෙඩ බව, මරණය කියන කාරණා ස්වභාවයක් වශයෙන් දරා ගෙන සිටින ආකාරයත්, ඒ තුලින් යෞවන මදය, නීරෝගී මදය, ජීවන මදය කියන්නා වූ පැවැත්ම පිණිස හේතු වන කාරණා වලින් නිදහස් වූ මානසිකත්වය ලැබූ ආකාරයත් අප විග්‍රහ කර ගත්තා නේ.

මෙන්න මේ අවබෝධය නිසාමත් පුංචි කුමාරයාට කොතරම් සැප සම්පත් තිබුනත් ඒවාට ඇලීමක් බැඳීමක් දිගින් දිගටම ඒ සුඛෝපභෝගී ජීවන රටාව භුක්ති විඳින්නට විශේෂ කැමැත්තක් හට ගත්තේ නෑ.  හැම මොහොතක ම විමුක්තිය පිණිස, සත්‍ය ගවේෂණය පිණිස මෙහෙය වූ මානසිකත්වයක් තමයි සකස් වී තිබුණේ. මෙන්න මේ ස්වභාවය තමයි පැවිදි රුවට පත්වීම, නැත්නම් තපස් ජීවිතයකට පත් වීම කියලා කියන්නේ.  විමුක්තිකාමි මානසිකත්වයට. 

බාහිරයෙන් පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින දත්ත තුලින් මනින්නට හැකි කාරණයක් නොවේ පැවිදි රුව කියලා කියන්නේ.  මේ ශාසනයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි පරිසරයේ කුමාරයෙක් ව සිටින කාලයේ දී... ඒ සිටු කුමරිය ලෙසින් සිටි බිරිඳ... මේ චරිත මේ කියන නිමිති දැකලා හිටිය පිරිස.  ඒ අය ගිහි පරිසර වල හිටියත් පැවිදි රුව කියන නිමිත්ත දැකලා තිබුණ නිසා මානසිකත්වය සකස් වී තිබුණේ විමුක්තිය පිණිසයි.  සත්‍ය ගවේෂණය පිණිසයි.  මේ එක උදාහරණයක් දුන්නේ මේ කියන කාරණයේ ගැඹුර විමසන්නට උපකාරයක් වීම පිණිසයි. 

කොතරම් සැප සම්පත් තිබුණත්... ඇලෙන්නට දහසක් කාරණා තිබුණත්... මේ විමුක්තිකාමි මානසිකත්වයට පත් වූ පුද්ගලයා හෙවත් පැවිදි රුව කියන නිමිත්ත දුටු පුද්ගලයා ව ඒ කිසිවකින් නැවත හරවන්නට නො හැකියි.  සිදුහත් කුමාරයා වගේ.  මේ ශාසනයේ සැබෑ විමුක්තිය ලැබූ පිරිස වගේ. 

ඉතින්, සිදුහත් චරිතාපදානයේ මේ කොටස් අර්ථ විපරීත ව විග්‍රහ කර දී කාලයක් තිස්සේ ලෝකය පුරාම උගන්වන කාරණා බවට පත් වී තිබෙන්නේ බහුතරයක් මේ කියන නිමිති අවස්ථා ගැන හිතන්නේ සාමාන්‍ය බාහිර කාරණා මත පදනම් වී නිසාමයි.  හරියට චිත්‍රපටි කතාවක් වගේ තමයි මේ ජීවිත කතාව කියන්නේ.  චිත්‍රපටි වල නම් උදේ සිට රෑ වෙන තෙක් දේ පෙන්වන්නට අවශ්‍ය නම් ඉතාමත් කෙටියෙන් උදේ මෙහෙම වුනා... දවල් මෙහෙම වුනා... රෑ මෙහෙම වුනා කියලා පෙන්වනවා.  කාලය ගැන අදහස දෙන්නේ රූප රාමු කීපයකින් පමණයි.  එහෙම බැලුවා ම නම් සිදුහත් කුමාරයා ට මේ කිසි දෙයක් පේන්නේ නැති වෙන්න සලස්වලා, හංග ගෙන හදලා, රථාචාර්ය එක්ක එලියට ගිය වෙලාවක ඔක්කොටම අතපසු වෙලා හදිසියේ දවස් 4ක් ම එක දිගට ම එච්චර කාලයක් හංග ගෙන හිටි මහල්ලා, ලෙඩා, මල මිනිය, පැවිදි රුව දැකලා... ඒ ගැන පුදුම වෙලා රථාචාර්ය ගෙන් ප්‍රශ්න කරලා “අම්මෝ, මටත් මේවා වෙන්න තියෙනවා ද... ඉඳලා ඵලක් නෑ එහෙනම්” කියලා වගේ වන ගත වෙන්නට තීරණය කරලා ඒකත් අර කල්ප කාලාන්තරයක් තිස්සේ බුද්ධත්වයට පත්වීමට සහාය දෙන්නට මහා පාරමිතාවක් පුරා ගෙන ආව තමන්ගේ බිරිඳටත් නොකියා හොරෙන් ම රෑ ක මාලිගාවෙන් පැනලා යනවා.  ඔව්, චිත්‍රපටියකට ම නවකතාවකට නම් හරිම රසවත් වෙන්න පුළුවන්.   

නමුත්, මිනිසුනේ, මේ අපි කතා කරන්නේ තුන් ලෝකයට ම අග්‍ර අසම සම වූ අති දුලභ ව ලෝකයට පහල වන මහා ශාස්තෘන් වහන්සේ නමක් ගැනයි.  තමන්ගේ පෘතග්ජන මානසිකත්වයෙන් අර්ථ දක්වා බොළඳ කුමාරයෙක් බවට පත් කරලා තියෙන්නේ අසම සම ප්‍රඥාවක් සහිත ඒ ප්‍රඥාව ලැබීම පිණිස කල්ප ගණනක් එයට අවශ්‍ය සියලු හැකියාවන් සම්පූර්ණ කර ගත් මහ බෝ සත් චරිතය ගැනයි.

ඒ බෝ සත් චරිතය එක්ක කල්ප ගණනක් සහාය දෙන්න අවශ්‍ය හැකියාවන් පූරණය කර ගත් බෝසත් බිරිඳක් ගැනයි.  සාමාන්‍ය කාන්තා පාර්ශවය වගේ “අනේ පැවිද්දට නම් යන්න එපා මම මැරෙනවා... පුතෙකුත් ඉපදිලා ඉන්න වෙලාවේ අපි ව නම් තනි කරන්න එපා” වගේ බොළඳ කතා කියමින් වළක්වන්න හදන සාමාන්‍ය බහුතරයක් සිටින මානසිකත්වයක ඉන්න කාන්තා චරිතයකට සම කරමින් ඒ අද්විතීය චරිත ඝාතනය කරලා තියෙන්නේ කිසිම බරක් පතලක් නැතිවයි.

සම්මා සම්බුදු පියාණන් වහන්සේ සියල්ලන් ම කඳුළු සලමින් ශෝක වන විට කෙස් රැවුල් කපා දමා මාලිගාවෙන් පිටත් වුනා කියලා ආර්ය පර්යේෂණ සූත්‍ර දේශනාව අවස්ථාවේ පෙන්වා දෙනවා.  එම සූත්‍ර දේශනාවේ දී ත් පෙන්වා දෙනවා උන්වහන්සේට තිබූ පර්යේෂණය කුමක් ද කියලා.  විමුක්තිකාමි පැවිදි රුව නම් වූ නිමිත්ත දුටු මානසිකත්වය පැහැදිලි වන තවත් වටිනා දහම් විග්‍රහයක්.  නමුත් බාහිරයේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින මට්ටම තමයි ලෝකයේ තියෙන පරම සත්‍ය කියලා විශ්වාස කරමින් මුලා වූ බහුතරයකට මේ දේවල් වැටහෙනවා තබා හිතා ගන්නටවත් නො හැකි කාරණා. 

ඔබට යන්තම් හෝ නුවණක් තිබෙනවා නම් ගැලවීම පිණිස සිතා බැලිය යුතු වෙන්නෙත් ඒ නිසා තමයි.