අදහසට මුල්වූවෝ
03 ඔක්තෝබර් 2015
ජීවිතයේ එකම අරමුණක් ඇතිව එකම මාර්ගයක ගමනක් යන්නට පැමිණි බව දැනගත් පසුව බොහෝ දෙනෙකු අඩුනැතිව විදින්නාවූ ලෞකික සැපයට ලෞකික ආශ්වාද මාත්‍රයට මුල්තැනක් දීමට අපට සිත්වූයේ නෑ. මෙතරම් අගනා අවස්ථාවක් ලැබී තිබියදීත් එය මඟ හරවා ගන්නවා නම් මේ ලැබූ දුර්ලභ මිනිස් ජීවිත වලින්ද ඵලක් නොවන බව අපට අඩු නැතිවම දැනුනා. ඒ නිසාම ලෞකික සුව පිණිස වූ විවාහය ලෝකෝත්තර සුව ලැබීම පිණිස අපූරු කළ්‍යාණ මිත්‍රත්වයකට හරවා ගන්නට අපට හැකිවුනේ නිසි අවබෝධයකින් යුතුවමයි.
එකට එක්ව ගමනක් යෑම පිණිස 2015 වසරින් ආරම්භ වූ ලෝකය සකසන ජීවිතය ලෝක නිරෝධය පිණිස කටයුතු කරන්නට සියලු ගමන් නතර කරගැනීම පිණිස ප්‍රඥාව පූර්ණය කරගැනීම පිණිස කටයුතු කරගන්නට යොමුකරවා මේ වන විට වසර 08ක් පමණ වනවා... උතුම් චීවරයන් දරමින් භික්ෂූ භික්ෂූනීන් ගෙන් යුතු ශාසනය හොබවන්නට කොතරම් කැමැත්තක් තිබුණද ඒ තුල නිසි අර්ථය ගිලිහී යන ආකාරය අත්දැකගන්නට ලැබීම ඒ අදහස මඳකට පසුපසින් තබන්නට හේතුවක් වී තිබෙනවා. නිර්වාණය කියන්නේ අදින ඇඳුම මත රැඳෙන්නක් නොවන බව අවබෝධකරගන්නා තරමින් ඒ උතුම් නිවනේ සුවය ලැබගන්නට තෙරුවණේ ආශිර්වාදයද උපරිමයෙන්ම ලැබෙන බව අත්දැකගන්නට හැකිවෙනවා.
අප අදහස හොඳින් හඳුනාගත්තාවූ කළ්‍යාණ මිත්‍ර ඇසුරක් සහ පවුලේ නෑ පිරිසක් ලැබීම අප ලද තවත් භ්‍යාග්‍යයක්මයි. සිතිවිල්ලකින් වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම තම තමන්ට හැකි උපරිමයෙන් අපගේ අදහස් වලට ගරු කරමින් අපට නන් අයුරින් සහය දෙන පිරිසක් අති දුර්ලභ ලෙසින් ලැබ ඇත්තේ තෙරුවණේ ආශීර්වාදය නිසාමයි. අඳින ඇඳුම හෝ වේවා හැසිරෙන ආකාරය හෝ වේවා ආදී බාහිරයෙන් මැන තීන්දු තීරණ නොදී අපට නිසි සේ සහාය දෙන්නට මේ පිරිස කැපවන කැපවීම අනන්තයි අප්‍රමාණයි.
හොඳම යාළුවා ලෙසින් කුඩා කල පටන්ගෙන සිතින් ඇසුරු කල ඒ උතුම් සම්මා සම්බුදුපියාණන්වහන්සේගේ කල්‍යාණ මිත්‍රත්වය නිසාම මේ සියලු ආශිර්වාදයන් ලැබූ බව මට නම් නොරහසකි.
සසර අනතුර හොඳින් හඳුනාගෙන නිසි මඟ නිසි ඵල නිසි සුව ලබමින් කටයුතු කරන අතරතුර මේ අනතුර පිළිබඳව අනතුරු ඇඟවීමට දීමට හැකි උපරිම සහායක් ලබාදීමට අපට හැකි අයුරින් කටයුතු කිරීමට වග බලාගන්නේ මිනිසුන් වශයෙන් කල හැකි කල යුතු එකම යහපත් වටිනාම යුතුකම එය වන නිසාමයි. ඇලෙන ගැටෙන දැවෙන පොරකන මිනිසුන් අතර නිවී සැනහෙන නිවී සනසාලන දහමෙන් පෝෂණය වූ ජීවිතයක් ලැබගැනීමට හැකිවීමත් ඒ තුලින් බොහෝ සිත් සතන් සුවපත් කරන්නට හැකිවීමත් තෙරුවණේ ආශීර්වාදය නිසාම ලැබූවක්.
අධ්‍යාත්මික දියුණුවකින් තොරව අන්වූ දියුණුවක් ලබන්නට පෙළඹීම පදනමක් නැතිව තනන්නට උත්සාහ කරන නිවසක් වැනිය. එයට කල්පැවැත්මක් නැත... ප්‍රමිතියක්ද නැත... ඕනෑම මොහොතක කඩා වැටෙන්නට හැකිය... අංශු මාත්‍ර හෝ කම්පනයකට ඔරොත්තු නොදෙනු ඇත... අන්න ඒ නිසාම අධ්‍යාත්මික දියුණුව පිණිස ප්‍රඥාව නම්වූ ඒ යහපත්වූ පදනම සකසාගැනීම පිණිස අපට කල හැකි පමණින් කටයුතු කිරීමේ අරමුණ ඇතිව පිරිසිදු ගැඹුරු සත්ධර්මය ලෝ සතට විවර කරමින් බබළවන අදහසින් යුතුව “නිර්වාණ ධර්ම“ දහම් ව්‍යාපෘතිය ආරම්භ කරන්නට කටයුතු කලෙමු.
මේ ජීවිත කාලය තුලදීම සියලු සසර දුක් කෙලවර කරගනිමින් පැවැත්ම අවසන් කරගැනීමේ අධිටනින් යුතුව කටයුතු කරන අතරම අපට හැකි අයුරින් තවත් බොහෝ සිත් සතන් සුවපත් කරගැනීමට උපකාරයක් වීම පිණිස කටයුතු කරන්නට අපේ ජීවිත මෙසේ පූර්ණ කාලීනව කැප කරන්නේ තෙරුවණේ ආශිර්වාදය ඇතිවමයි.
ඉතින් මේ අපේ කතාව බොහෝම කෙටියෙන්... අප ගැන දැනගන්නවාට වඩා විය යුතු වන්නේ, අප කරන්නාවූ අංශු මාත්‍ර හෝ යහපත්වූ යමක් වේ නම් එයින් නිසි ඵල නෙලාගෙන අප්‍රමාදීව ලැබිය යුතු සැනසීම නිදහස තම තම නැණ පමණින් ලැබගැනීමමයි. ඒ තුලම ඔබට අප ගැනද දැනගන්නට හැකිවේවි. තෙරුවණේ නිසි රැකවරණය ආශිර්වාදය අත්දැකගන්නට ඒ තුලට බැස බැලිය යුතුමයි...ඔබට ඒ ආශ්චර්යය අත්දැකගන්නට හැකිවන්නේ විවෘත මනසකින් සැබෑම බුද්ධිමත් මිනිසෙක් ලෙසින් කටයුතු කරන තරමින්මයි!
අන්න ඒ නිසා විවිධාකාර අදහස් මතිමතාන්තර වචන පද පුද්ගලයන් ඔස්සේ අතරමං නොවී තම තමන්ගේ වටිනා දුර්ලභව ලත් මිනිස් ජීවිතයේ වැදගත්කම අවබෝධයෙන් යුතුව ප්‍රඥාවන්තව ලැබූ ජීවිත අර්ථවත් කරගන්නට අප්‍රමාදීව කටයුතු කරගැනීමම වටී. අන්න එවිට තවත් එක් හිස් මිනිසෙක් ලෙසින් ජීවත්ව හිස් මිනිසෙක් ලෙසින් මිය නොගොස් පරිපූර්ණත්වයට පත්වූ දුර්ලභ නිවීමක් ලැබගැනීමට හැකිවනු ඇත.
ගැඹුරු පිරිසිදු නිර්වාණ ධර්මයේ සැබෑම ශාන්ත ප්‍රණීත සුවය අත්දැකගැනීමට සිත් නිති යොමු වෙත්වා!!!