කතාවේ මුල
01 ඔක්තෝබර් 2015
පිරිසිදු ගැඹුරු බුදු දහම තුල තමන් පිළිබඳව නිසි ආකාරයෙන් සොයාගැනීමටත් මනස පිළිබඳව ගැඹුරින් විග්‍රහ කරගැනීමට අවබෝධ කරගැනීමටත් අවස්ථාව තිබුණද, මේ වන විට ඒ හරය සහිත ඒ ගැඹුරු ධර්මය බොහෝ දෙනෙකුගෙන් ගිලිහී යමින් පවතී.
මේ වන විට සීඝ්‍රයෙන් තවත් එක් ආගමක් පමණක් බවට පරිවර්ථනය වෙමින් පැතිරී යන බුදු දහම තුල සාමාන්‍ය ආගමක දැක්වෙන වත් පිළිවෙත් සමුදායෙන් ඔබ්බට ගියාවූ හරය අත්දැකගැනීමට නොහැකි වෙමින් පවතිනවා. අන්න ඒ නිසාම ගැඹුරු දහමේ සුවය විඳින්නවුන් වශයෙන් අපට කල හැකි යුතුකම හැකි පමණින් ඉටු කරන්නට සිත් යොමුවිය.
"තථාගතප්පවේදිතො ධම්මවිනයො භික්ඛවේ විවටො විරෝචති නො පටිච්ඡන්නො - තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය විවෘත වූයේ ම බබලයි. වැසුනේ නොම බබලයි"
මෙය උතුම් බුදු වදනයි... එබැවින් මේ පිරිසිදු ගැඹුරු බුදු දහමේ නිසි අගය පෙන්වා දෙමින් නිවැරදි දහම් මාර්ගය මතු කරදෙමින් නිවන පිණිසම වූ ගැඹුරු අරුත් පෙන්වා දෙමින් අපට කල හැකි උපරිමය කරදීම අපට කල හැකි උතුම්ම යුතුකම බව පසක් විය.
හුදෙක් වචන සිද්ධාන්ත අතරේ සිරවී තර්ක වාද ගොඩනඟමින් නිවීමට වඩා දැවෙන්නට උත්සාහවන්ත වන පිරිස අතර අපට අවබෝධ වන තරමින් අපගේ පිලිපැදීම තුලින් ලබන්නාවූ අත්දැකීම් තුලින් අප දැන තෝරාගන්නා පමණින් මේ ගැඹුරු ධර්මය බෙදා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එසේ නොවුනහොත් වචන පද නොයෙක් මත වාදයන් අතර සිරවී අනුන්ගෙන් ආනයනය කලාවූ හුදු දැනුම් මාත්‍රයක මත රැඳෙමින් තමන් මෙන්ම අනුන්වද පැවැත්මේම සිරකරුවන් කරවන පිරිසක්ම ඉතිරි වනු නොඅනුමානයි.
බුදු දහමේ සැබෑ සුන්දරත්වය ආශ්චර්යය රඳා පවතින්නේ මේ උතුම් කළ්‍යාණ මිත්‍රතාවය මතමයි...
සැබෑ සතුට අත්දැකගැනීමට... සැබෑ නිදහස සාමය සුවය අත්දැකගැනීමට... සැබෑම විද්‍යාව අත්දැකගැනීමට... සැබෑම මනෝ විද්‍යාව දැනගැනීමට... තමන්ට තමන්වම සොයාගැනීමට උපකාරයක් වීමට... සියලු දුක් කෙලවර කරගැනීමට... යමෙකුට කල හැකි යම් උපකාරයක් වේ නම් අන්න එවන් වූ උපකාරය සිදුකරන්නා සැබෑම මිත්‍රයෙක්. මේ ශාසනය පූර්ණ වශයෙන්ම එවන්වූ කළ්‍යාණ මිත්‍රතාවය මත රඳා පවතින බව උතුම් බුදු වදනයි. මේ කළණ වැට බිඳුනු කල ශාසනයේද පැවැත්මක් නොවන බව බුදු වදනයි... ඉතින් මේ ශාසනයේ පැවැත්ම පිණිස වූ ඒ කළණ වැට රැකගැනීම පිණිස අපට කල හැකි පමණින් කල යුතු නිසි දේ කරන්නට මෙසේ සිත් විය.
රාගය නැසීමට හේතුවන ද්වේශය නැසීමට හේතුවන මෝහය නැසීමට හේතුවන යම් වදනක් යමෙක් පවසයි නම් එයම බුදු වදන වන අතර එය හීනයාන හෝ වේවා මහායාන හෝ වේවා වජ්‍රයාන හෝ වේවා බෞද්ධ හෝ වේවා අනෙකුත් දහමක් හෝ වේවා යන සීමිත පිරිසකට කොටසකට සීමාවූවක් නම් නොවේ.
මාර්ගය නිවැරදි නම්... පුහුණුව නිවැරදි නම්... ප්‍රඥාව අවදි වේ නම්... මමත්වයෙන් මිදී දැවීමෙන් මිදී නිවීම කරා ලංවේ නම්... දූෂිත මනසකින් මැන මැන වෙන් කරගත්තාවූ ඒ සියලු බෙදීම් සුනු විසුනු වී යනු නොඅනුමානයි. අන්න එවිට මේ උතුම් දර්ශනයෙන් ඵල ලබන නිවී සැනසී යන පිරිස මෙතැකැයි කියා නිම කල නොහැකියි.
මේ විද්‍යාව සියලු සත්වයෝ උදෙසාමයි... මේ නිවීම සියලු ලෝ සතුන් උදෙසාමයි...
ධාර්මික වූවත් නොවූවත්... විශ්වාස කලත් නොකලත්... පෙනෙන නොපෙනෙන... තුන් ලොව වෙසෙන ඕනෑම තරාතිරමක ජීවීන් හට... මේ උතුම් බුදු දහම තුල අංශු මාත්‍ර තරමින් හෝ ලබාගත හැකි නිවීමක් සැනසීමක් සහනයක් සෙතක් යහපතක් අනිවාර්යෙන්ම තිබේ. “නිර්වාණ ධර්ම“ යනු අන්න ඒ අර්ථයෙන් සිත් සුවපත් කරන්නාවූ දහම් සත්කාරයකි.
ඇලෙන ගැටෙන පොරකන දැවෙන නොමිනිසුන් අතර, නිවී සැනසෙන නිවා සනහාලන සැබෑම මිනිසුන් බිහි කිරීම උදෙසාම ආරම්භ වූ දහම් සත්කාරය වන “නිර්වාණ ධර්ම“ තුල මැනගැනීම් නැත... ගැඹුරු පිරිසිදු නිවීම උදෙසාම වූ සැබෑම බුදු වදන උදෙසා පිපාසයෙන් පෙලෙන ඕනෑම අයෙකුට වයස් භේදයක්... ආගම් භේදයක්... තත්ත තානාන්තර භේදයක්... ජාති ආගම් කුල ආදී කිසිදු ආකාරයක භේදයකින් තොරව බුදුන් කල සැනසුනා සේ සැනසීමට පත්විය හැකි පිරිසිදු බුදු දහමෙන් තම දහම් පිපාසය සංසිඳුවා ගත හැකි සඳහම් සත්කාරය “නිර්වාණ ධර්ම“ නම් වේ.
ප්‍රඥාවත් කරුණාවත් පෙරදැරිව ආරම්භ වූ “නිර්වාණ ධර්ම“ නම් මේ සඳහම් සත්කාරයේ සැබෑම ඵල නෙලාගැනීමට සැබෑම බුද්ධිමත් මිනිසෙක් වන ඔබටම භාර කරන්නෙමු. රාගය නිවමින් ද්වේශය නිවමින් මෝහය නිවමින් නිර්වාණ ධර්මයෙන් පෝෂණය වන්නට... ප්‍රඥාවෙන් සැනසෙන්නට තෙරුවණේ රැකවරණය ආශිර්වාදය මැද මෙසේ තවත් එක් දුර්ලභ අවස්ථාවක් ලබා දෙන්නට කටයුතු සිද්ධවිය!