ගරු අජාන් කාඕ අනාලයෝ යනු මෑත කාලයේ අප අතරම බිහිවූ තවත් අරිහතුන්වහන්සේ කෙනෙක්! ආචාරියා මන් භූරිදත්ත අරිහතුන්වහන්සේගේ මග අනුගමනය කොට අරිහත්වයට පත් වූ හිමි නමක් තමයි අජාන් කාඕ අනාලයෝ හිමි කියලා කියන්නේ. පෙර අවස්ථා දෙකෙහිම වගේ උන්වහන්සේ ගැනත් කියලා ඉවර කරන්නට නොහැකි තරම් විස්තර තිබෙනවා... උන්වහන්සේගේ අධිශ්ඨානය කැපවීම ධෛර්ය භූරිදත්ත තෙරන්ට හා කායිව් තෙරණියට දෙවැනි නොවේ. උන්වහන්සේගේ චරිතාපදානයේ බොහෝම අපූරුවට උන්වහන්සේ අනුගමනය කල ක්‍රම රටාව විස්තර වෙනවා.
තමන්ගේ ගමෙන් පිටවෙලා එනකොට උන්වහන්සේට පසුබෑමට ලක් කරන්නට උත්සාහ කල පිරිසට උන්වහන්සේ කිව්වේ "මම නිවන් මාර්ගය පූර්ණය කරගෙන මිස නැවත මේ ගමට එන්නේ නෑ... ඔබලාට මගේ මුහුණ පෙන්නන්නේ නෑ කියලයි... හදිසියේවත් එහෙම ආවොත් එදිනට හිතාගන්න මම ආර්ය මාර්ගය පූර්ණය කරලා තිබෙන බවට" කියලායි. ඉතින් මෙසේ පටන් ගත්ත ආත්ම විශ්වාසයෙන් යුතු ගමන ආචාරියා මන් භූරිදත්ත තෙරුන් යටතේ ඔපවැටී සියලු දුක් කෙලවර කොට අරිහත්වයට පැමිණිමට උන්වහන්සේටත් හැකියාවක් ලැබුණා. උන්වහන්සේගේ චරිතාපදානයෙන් මා උකහාගත් දෑ බොහෝමයි. ඇත්තටම මේ ග්‍රන්ථ අතුරින් මා මුලින්ම කියවන්නට යෙදුනේත් උන්වහන්සේගේ ග්‍රන්ථයයි.
ඉතින් පැයක් දෙකක් භාවනා කරලා මහා ලොකුවට කථා කරන පිරිස අප අතර බොහෝමයි. ඒ වගේ අය ඇත්තටම මේ උත්තමයන් වහන්සේලාගේ කැපවීම ගැන මනාවට විස්තර වෙන මේ චරිතාපදානයන් කියවිය යුතුම යැයි සිතමි. තමන් ධර්මය දන්නවා කියලා හිතාගෙන ඉන්න අයටත් කිසිම කැපවීමක් නොකර අන් අයව විවේඡනය කරමින් ඉන්න අයටත් මේකාලේ රහත් වෙන්න බෑ නිවන් දකින්න බෑ කියන අයටත් මේ වගේ දැඩි අධිශ්ඨානයත් කැපවීමත් ධෛර්යත් ප්‍රමුඛ කරගෙන තමාගේ එකම අරමුණ නිවී සැනසීම බවට පත්කරගත්ත උත්තරීතර භික්ෂූන්වහන්සේලා සැබෑවටම ආදර්ශයක්. ඒ අතර අරිහත්වයෙන්ම සසර දුක් නිමා කරගත්ත සිල්මාතා කායිව් වැනි කාන්තාවක්ද සිටීම මට පෞද්ගලිකව ඇත්තටම මහා ධෛර්යක් නැගෙන්නට හේතු වුණා. ඉතින් මේ දේවල් ඔබත් එක්ක බෙදාගන්නට කටයුතු කරන්නේ කියවලා රසවිදින්නවත් අනේ හරි ෂෝක් කියලා ඇත්තටම පින්වන්තයි වගේ දේවල් කියලා අමතක කරලා දාන්න නම් නෙවේ. ඔබ අතරින් එක් අයෙකු හෝ මේ චරිතාපදානයන් තුලින් තමන්ගේ ජීවිතයට ලංකරගත යුතු දෑ ලං කරගන්නවා නම් තමන් දැනට කරගෙන යන වැඩපිලිවෙල කෙරෙහි ලජ්ජාවට පත්වෙලා වරද වරද සේ දැක නිවැරදි කරගන්නට අවංකවම කටයුතු කරගන්නවා නම් නිවන බොහෝ දුර නොවන බව අත්දැකීමෙන්ම දැනගන්නට හැකියාවක් ලැබේවි යැයි සිතමි.
පෙර ග්‍රන්ථය සේම මුලින්ම මට මේ ග්‍රන්ථ ඇසුරු කරන්නට අවස්ථාව සැලසුනේ පින්වත් කළන මිතුරු චන්දන සිරිවර්ධන මහතා විසින් දහම් පඬුරක් වශයෙන් මටත් මගේ මහත්තයාටත් ලබා දුන්න ධර්ම ග්‍රන්ථ එකතුව තුලිනුයි. ආර්ය මාර්ගය පූර්ණය කරගැනීමට උපනිශ්‍රයක්ම වේවා යන මෙත් සිතින් යුක්තව ඔහු පිදූ ඒ දහම් පඬුර සැබැවින්ම අපට අසීමාන්තිකව උපකාරයක් උපනිශ්‍රයක් බවට පත්වෙලා තිබෙනවා. ඉතින් මේ ග්‍රන්ථ ලංකාවට ගෙන්වන පින්වත් පිරිසක් සිටිනවා... සුමින්ද සිරිනාත් සල්පතිකෝරාල ධර්මසේන යන පින්වත් මහතාත් ඔහුගේ දෙමව්පියනුත් දැනට මේ සත්කාර්යය සිදුකරගෙන යනවා... 6G, පලවෙනි පටුමග, පාගොඩ පාර, නුගේගොඩ 10250 තමයි ඒ පින්වත් පිරිසගේ ලිපිනය. මේ විස්තර ඔවුන් විසින් නොමිලේම බෙදා දෙන ඒ ධර්ම ග්‍රන්ථ වල සටහන් වෙලා තිබෙනවා. ඉතින් ඔබත් මේ ග්‍රන්ථ තුලින් හෝ ඒ සත්ධර්මය ඇසුරු කොට යහපත උදාකරගන්නට පෙළඹෙන අතරම මේ පින්වත් පිරිසටත් ආර්ය මාර්ගය පූර්ණය කරගැනීම පිණිසම මේ සත්කාර්යය උපනිශ්‍රයක් උපකාරයක්ම වේවායි මෙත් සිත් පතුරවන්නේ නම් ඉතාමත් යහපත් යැයි සිතමි!
ඉතින් උන්වහන්සේ ගැන විස්තර කියවන්නට වෙන්නේ ඉංග්‍රීසි බසින් තමයි. ඒ නිසා ඒ අදාල දේ කියවන්නට කැමත්තෝ වෙත්නම් මෙතැනින් පිවිසෙන්නට කටයුතු කරන්න.