සිල් මාතා කායිව් තෙරණියගේ දිවියෙන් බිඳක්

සිල් මාතා කායිව් තෙරණියගේ දිවියෙන් බිඳක්

සිල්මාතා කායිව් යනු මෑත කාලයේ අප අතරම පහල වූ අරිහත්භාවයට පැමිණි තෙරණියකි! 1901 උපත ලබා 1991 පිරිණිවන් පෑ සිල්මාතා කායිව් තෙරණිය පිළිබඳව ලියැවුණු ග්‍රන්ථය මාගේ ජීවිතයේ නැවත වරක් සැබෑම වෙනසක් කරන්නට උපකාර වූ උපනිශ්‍රය වූ කරුණු සමූහයකින්ම සමන්විතයි.  මම හිතන්නේ මෙකල අරිහත්වයට පැමිණීම අරමුණු කරගෙන කටයුතු කරන සෑම කාන්තාවක් විසින්ම කියවිය යුතුම ග්‍රන්ථ අතරට මෙය පත්විය යුතුමයි කියලායි... මන්ද කාන්තාවක් වශයෙන් කායිව් සිල්මාතාව තුල වූ කැපවීම ධෛර්ය අධිශ්ඨානය සහ වරද වරද සේ දැක නිවැරදි කරගැනීමට තිබූ උනන්දුව සැබැවින්ම සැබෑවටම නිවන් දැකීමට කැමැති සෑම කාන්තාවකටම ධෛර්යක්ම උපකාරයක්ම වේ. 

සිල්මාතා කායිව් තෙරණිය පිළිබදව කියවූ පසු සැබැවින්ම මට මා තුල තිබූ බොහෝ වැරදි අඩුපාඩු හදුනාගෙන ඒවා නිවැරදි කරගැනීමට හැකිවුණා... අරක නෑ මේක නෑ මේක මෙහෙම වුනොත් හොදයි ආදී වශයෙන් ආර්ය මාර්ගය පූර්ණය කරගැනීමට ඇති බාධා පිළිබදව සමහර අවස්ථාවල පසුතැවීමෙන් යුක්තව සිටි මට සිල්මාතා කායිව් තෙරණිය ගැන කියවූ පසු සැබෑවටම ලජ්ජාවක්ම ඇතිවිය. ඒ ලජ්ජාව තුලින්ම මාගේ වරද අඩුපාඩු නිවැරදි කරගෙන අදාල අරමුණ වෙත ලගා වීමට මා තුල තිබිය යුතු ධෛර්ය කැපවීම අධිශ්ඨානය තව තවත් වැඩි කරගැනීමට කායිව් තෙරණිය මට උපකාරයක් උපනිශ්‍රයක්ම වන්නේය.

ඇය පිළිබදව ලියැවූනු ග්‍රන්ථය තුලින් ආර්ය මාර්ගය පූර්ණය කරගැනීම පිණිස ගත හැකි කරුණු බොහෝමයි. භාවනාව තුලින් වෙනත් අරමුණු ඔස්සේ ගොස් කාලය නාස්ති කරගැනීම ආදී කරුණු ඇත්තටම නිවන් අරමුණු කොටගෙන භවුන් වඩන සැමටම ඉතාමත් වටිනා අවවාදයක් වගේම අනතුරු ඇඟවීමක් ලෙසයි මා දකින්නේ. ඉතින් මේ තෙරණියගෙන් මට ලැබෙන අවවාද උපදෙස් අනුශාසනා මෙතැකයි කියන්නට නොහැකියි. ඔබටත් ඒ වටිනා අවවාදයන් ඔබේ ජීවිතයට ලඟා කරගැනීමට හැකිවේවි යන අදහස ඇතිව මෙසේ ඇය පිළිබදව දත්තයන් තිබෙන වෙබ් අඩවි සමඟින් එකතු වන්නට අවස්ථාව ලබා දෙන්නෙමි.

පෙර ග්‍රන්ථයසේම මුලින්ම මට මේ ග්‍රන්ථ ඇසුරු කරන්නට අවස්ථාව සැලසුනේ පින්වත් කළනමිතුරු චන්දන සිරිවර්ධන මහතා විසින් දහම් පඬුරක් වශයෙන් මටත් මගේමහත්තයාටත් ලබා දුන්න ධර්ම ග්‍රන්ථ එකතුව තුලිනුයි. ආර්ය මාර්ගය පූර්ණයකරගැනීමට උපනිශ්‍රයක්ම වේවා යන මෙත් සිතින් යුක්තව ඔහු පිදූ ඒ දහම් පඬුරසැබැවින්ම අපට අසීමාන්තිකව උපකාරයක් උපනිශ්‍රයක් බවට පත්වෙලා තිබෙනවා.

ඉතින් මේග්‍රන්ථ ලංකාවට ගෙන්වන පින්වත් පිරිසක් සිටිනවා... සුමින්ද සිරිනාත්සල්පතිකෝරාල ධර්මසේන යන පින්වත් මහතාත් ඔහුගේ දෙමව්පියනුත් දැනට මේසත්කාර්යය සිදුකරගෙන යනවා...6G,පලවෙනි පටුමග,පාගොඩ පාර,නුගේගොඩ10250තමයි ඒ පින්වත් පිරිසගේ ලිපිනය. මේ විස්තර ඔවුන් විසින් නොමිලේම බෙදා දෙන ඒධර්ම ග්‍රන්ථ වල සටහන් වෙලා තිබෙනවා. ඒ විස්තර මට ලබා දී ඔවුන්ව හඳුන්වාදුන්නේ චන්දන සිරිවර්ධන මහතා විසිනුයි.  ඉතින් ඔබත් මේ ග්‍රන්ථ තුලින් හෝ ඒසත්ධර්මය ඇසුරු කොට යහපත උදාකරගන්නට පෙළඹෙන අතරම මේ පින්වත් පිරිසටත් ආර්යමාර්ගය පූර්ණය කරගැනීම පිණිසම මේ සත්කාර්යය උපනිශ්‍රයක් උපකාරයක්ම වේවායිමෙත් සිත් පතුරවන්නේ නම් ඉතාමත් යහපත් යැයි සිතමි! 

ඉතින් තෙරණිය ගැන විස්තර කියවන්නට වෙන්නේ ඉංග්‍රීසි බසින් තමයි.  ඒ නිසා ඒ අදාල දේ කියවන්නට කැමත්තෝ වෙත්නම් මෙතැනින් පිවිසෙන්නට කටයුතු කරන්න.