වහරක හිමියන්ගේ බොහෝ පිරිසක් නොදත් සැබෑ පුවත!

අවසරයි අපෙ හාමුදුරුවනේ...........

ගලන මහ ගඟක් මොහොතකින් නැවතුණ ලෙස ඔබ වහන්සේ නැවතුණි. අවසානයක් නොමැති කතාවක් සේ ඔබ වහන්සේ නිවුණි.හිත මගෙන්ම බොහෝ පැන විමසයි.එයට පිළිතුරු සොයන්නටත් පෙර නැවත විමසයි.සෑම පැනයකටම පිළිතුරු නිහඩ බවයි.පෙර දා නැගුණු සෑම පැනයකටම විසදුම් ලබා දුන් ඔබ වහන්සේ පිළිබඳව නැගෙන පැනයටම තවම විසදුමක් නැත.

ඔබ වහන්සේගේ ගමන් කෙළවර පිළිබඳව කිසිම අයුරකින් දුකක් ශෝකයක් නොනැගෙනු ඇත.එය කෙදිනකවත් දෑසට කදුලක් නොනගනු ඇත. සියලු දුකෙන් මිදෙන්නට දහම් දෙසුයේ ඔබ වහන්සේය. එ් මග අනුගමනය ද කල සේක.ඔබ වහන්සේගේ කෙළවර දුකින් මිදීමබව පැහැදිලිය.ඉතින් අප ශෝක කරනුයේ කුමකට ද?
නමුත් මෙලෙස නිහඩ අවසානයක් බලාපොරොත්තු නොවිමි.ඔබ වහන්සේගේ පාරමිතාව ද දනිමි.ඔබ වහන්සේ තුල වු උතුරු මිනිස් දම් ද දනිමි.ඔබ වැනි උත්තමයන් ලොව පහළ වන්නේ අති කලාතුරකින් බව ද දනිමි.එබදු මහා ශක්ති ධාරාව නිහඩවම නිසලව අප්‍රසිද්ධියේම නැවතීම සංවේගයක් ඇති කරයි.ඔබ වහන්සේ ඒකාන්තයෙන් පිරිනිවීගිය බව දැනෙන්නට සටහනක් නොතබාම නැවතුණි.අනුමාන ලෙස දැන ගැනීමට තබන්නට යෙදුණු එකම සටහන

"මහත්තයෝ මට උප්පත්ති පටිලාභයක් නැහැ තියෙන්නෙ භව පටිලාභය විතරයි.පූර්ණ කරනකන් කය පවත්තන්න බැරි උනොත් අන්තරා පරිනිබ්බායී අවස්ථාවකට පත්වෙයි." කියන දෙසුම පමණකි.

එබැවින් ඔබ වහන්සේ නැවත මේ කාම,රූප,අරූප යන ගර්භාවාසයට නැවත නොපැමිණෙනු ඇත.බොහෝ අපවාද උපවාද කෙනෙහෙළිකම් කරදර බාධක කායික මානසික පීඩාවන්හී නොසැලී මහා ගමනක් වැඩි ඔබ වහන්සේගේ නිහඩ ගමන නිතර නිතර මා සිත සංවේගයට පත් කෙරෙමින් පවතී.

ඔබ වහන්සේ දහම් දෙසන විට ධර්මය විකෘති කරනවායි ගිහි පැවිද්දො බොහෝ පිරිසක් චෝදනා කළහ.හේතු ඇතුවම පෙළ දහමට අනුවම කරුණු පෙන්වා දුන් නමුත් එය තෝරා ගැනීමට තරම් ඔලුවක් මොලයක් ඔවුන්ට නොතිබුණ බවද වැටහේ.තෝරා ගැනීම කෙසේ වෙතත් පහර ගසන්නට සැදී පැහැදී සිටියෝ බොහෝ විය.ඔවුන් කතෝලික,මුස්ලිම්,හින්දු ආදී අන්‍යාගමිකයෝ නොවුහ.කරුමයක මහත! ලෝක සම්මතයේ බෞද්ධ භික්ෂූන් සහ උපාසක යැයි සම්මත පිරිසම විය.කුඩා කල සිට පැවිදි දිවියක් ගත නොකලත් ඔබ වහන්සේට දහමේ සැගවුණ තැන් විවර කරන්නට මහා ප්‍රඥාවක් තිබුණි.පෙර බවයක අරිහතුන් වහන්සේලා මේ හෙළ දිව වැඩ සිටි කාලයේ ඉපිද උන්වහන්සේලාගෙන් දහම් අසා සෝතාපන්න ඵලය සාක්ශාත් කර තිබීම එයට හේතුව බව ඔවුන් අදට ද දන්නේ නැත.විස්වාසයක් නැති බැවින් පිළිගන්නේද නැත.කෙසේ හෝ ඔවුන් පහර ගැසුවේ ඔබවහන්සේට නොව නැගෙන සම්මා සම්බුද්ධ ශාසනයට බව ඔවුන් නොදනිති.

ඹබට නැගෙන්නට ඇති ඉඩ අහුරා දැමූ ඔවුන් ඉඩ අහුරන ලද්දේ උතුම් සම්මා සම්මා සම්බුද්ධ ශාසනයේ නැගීමට බව නොදනියි.  

අද රට පුරා ඇති ඉඩෝරයට හේතුවත් එයම බව ඔවුහු නොදනිති.  ඔබ වහන්සේගේ කය දුබලවන තරමට වස විස දුන්නා වු පිරිස් මෙන්ම අන්තිම කාලයේ දී පවා ඉන්දියාවේ සිට පවා කලා වු හිර බන්ධන ආදියෙන් දුබල වූයේ ඔබ වහන්සේ නොව නැගෙන සම්බුද්ධ ශාසනය බව ඔවුන් දන්නේ නැත.රජ මාලිගා තනවා බුදුන් වහන්සේට පූජා කළ ද කර ගත්තා වූ මහා පාපයන්ගේ විපාකය විදිනු ඇත.

වසර දෙදහස් පන්සියයකට පසු දියසෙන් කුමාරයා පැමිණි රට ජාතිය අාගම විප්ලවීය වෙනසකට යොමු කරන තෙක් සිංහලයා බලා සිටිනු ඇත.දියසෙන් කුමාරයා පහලව නිහඩවම ඒ මහා සේවය ලක්දිවට පමණක් නොව මේ මුළු ලෝකයටත් සක්වලටත් දස දහසක් සක්වලටත් ඉන් එහාටත් අපරිමිත සේවයක් සිදු කළ බව දන්නේ ඉතාම සුළු දෙනෙක් පමණි.කාශ්‍යප බුදු පියාණන්ගෙන් ලත් විවරණයක් ඔබ වහන්සේට තිබුණු බව ඔබවහන්සේගෙන්ම අසා තිබිණි.ඒ දියට සෙත් කරන්නටය පෙර කලෙක අනිසි ලකුණ අනිත්‍යය කොට කටයුතු කරපු ඇත්තන්ම " දියසෙත් කුමරා ද දියසෙන් කුමාරා" කොට සඟවා දැමූ බව කෙසේ දැන ගන්නද?

පටිභාන කවීත්වය මෙයැයි ලොවට කියා පෑවේ ඔබ වහන්සේය. කවි තුන හතරක් විනාඩියක් තුල අක්ෂර ගණ මාත්‍රා සහිතව ගෙතීමේ හැකියාව තිබු බවට පටිගත කරන ලද කාව්‍යමය දේශනා නිහඩ සාක්ෂියක් වනු ඇත.

අටවිසි බුදු පියාණන් වහන්සේලා ලොවට විහිද වූ අපරිමිත මහා ශක්තිය මහ බෝධිය හරහා ඇද ඇද මහ සෙත් කිරණින් පාරා වළලු විශ්වය පුරා විහිදවීය.විශ්වයේ කළු කිරණ කපා එ් වලලු නැවතත් පොළොවට ලං වී ඇති බවද ඔබ වහන්සේ දෙසා ඇත. අද විද්‍යාඥ පිරිස විශ්වයේ දියමන්ති වලලු නිරීක්ෂණය කලත් ඒ ඔබ වහන්සේ නැගූ සද්ධර්ම චක්‍රවර්ති පාලනය පිළිබඳව ඔවුන්ගේ ‍භෞතික උපකරණ වල සටහන් නොවනු ඇත.සද්ධර්ම චක්‍රවර්ති යෝගය ඔබේ අත්ලේ රේඛා අතර සටහන්ව තිබූ බව දන්නෝ ස්වල්පයකි.සක්විති රජවරු හත්දෙනෙකුට වඩා බල ඔබ වහන්සේ සතු විය.සිදු වන්නට ගිය ලෝක විනාශයෙන් සත්වයන් මුදා ගත්තේ ඔබ වහන්සේය. බුදු පියාණන් වහන්සේ විහිද වු අප්‍රමාණ ආශිර්වාදයෙන් ශ්‍රි හස්තයන් මැවී දස දහසක් සක්වලට මහ රැකවරණ විහිදුනේ ඔබ වහන්සේ නිසා බව මිහිපිට මිනිසුන් නොදන්නා මුත් දෙවි බඹ පිරිස නොදන්නවා විය නොහැකිය.

එදා රාවණ පරපුරේ නැගීමට පුලතිසි ඍෂිවරයා දුන් මහා බලය ශක්තිය අද ද රාවණ පරපුරේ නැගීමට ඔබ දුන්නා වූ මහා බලයට කෙසේ නම් දෙවනි වේද? බයිබල් ධර්මයේ ඇතුලත් වන "අවසන් විනිශ්චය " මෑත කාලයේ විශ්වය තුළ සිදු වුණ බව කතෝලිකයෝ පවා නොදන්නෝය.ඒ හේතුවෙන් පොළොවෙ පස,මුහුදු ජලය වායුගෝලීය සංයුතිවල පවා වෙනසක් සිදු වී ඇති බව ඔබ වහන්සේ දෙසූ බව මතක ඇත.

හාමුදුරුවරුන් පිරිසක් ගලක් මත නැග ර‍ජෙකුට දම් දෙසු මහින්දාගමනය ගැන අපි අසා සිටියෙමු. සිතුවම් ගී කවි පද කර සතුටු වීමු.අාඩම්බර වීමු.අපිට දහම ලැබුණේ එයින් බව කීවෙමු.අපිට අනුබුදු මිහිදු යැයි පිළිගතිමු.එවන් කලෙක අරිහතුන් වැඩ සිටින කාලෙක අරහත් බව ලැබීම අනුබුදු බව නොවන බව ඔබ වහන්සේ දෙසා ඇතැයි මා අසා ඇත.මහින්දාගමනය යනු හුදෙක් සිදුවීමකට එහා ගිය දහම් සංකේ්තයක් බවත් එය යටපත් වුන බුදු සසුනක් මතුවන ක්‍රමවේදය බවත් ඔබ වහන්සේ දෙසා ඇත.

අද පහලව ඇති නොයෙක් අනුබුදුවරු අතර ඔබ වහන්සේ සැබෑම අනුබුදුවරයන් වහන්සේ බවද දනිමි.  එදා සිදුහත් බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් මහ රහතන් වහන්සේලා උදෙසා නෙළුම් හැඩේට නෙළුම් සුවද කවා කල කිරිබත් පූජාව ඒ ශ්‍රාවක බෝසත් ගුණයේ ඇරඔුම බවද දනිමි.

අසා දැන ගත් පරිදි ඔබ වහන්සේ පිළිබද මේ බොහෝ දෙනා දත් නොදත් තොරතුරුය.ඔබවහන්සේ මතුකල සදහම් මග අනුගමනය කර සිව්පිළිසිඔියාවන් සාක්ෂාත් කර ගන්නෝ අනාගතයේ්දී බොහෝ වනු ඇත. උන්වහන්සේලා එකල ඔබේ ගුණ කඳ ගයනු ඇත.  "සිංහයකුගේ තරම දන්නේ ද සිංහයෙකි." කැනහිල්ලු කෙසේ නම් දැනගන්නද? සිංහයන් දඩයම් කල ගොදුරු වල බොකු කුණු කන කැනහිල්ලු සිංහයන්ට ම ගරහති. බුදුන් කල සිදුවු එවැන්නක් සුනක්කත්ත සූත්‍රයේ සදහන්ය. එදත් අදත් හෙටත් එ් කැනහිල් හූ හඬ නොනවතිනු ඇත. සිංහයන් කෙදිනකවත් ඒ හඬට බිය වී පලා නොයනු ඇත.

එකින් එක ඔබ වහන්සේ ගැන හදවත උතුරා යන සිතුවිලි නැගෙයි.තෙරපෙන සිතුවිලි මොලයට වැදී ඇගිලි තුඩු දගලවයි.මෙහෙමත් ලියන්න මේකත් ලියන්න පෑනේ තීන්ත අවසන් වනු ඇත. ඔබ වහන්සේ පිළිබඳ මතකයන් ගුණයන් අවසානයක් පෙනෙන තෙක් මානයක නැත.  ඔබ වහන්සේගෙන් පමණක් මා ඇසු ඒ පිරිත් ස්වරය ඉන් එකකි. වචන පද ලෙස නොව අකුරෙන් අකුර නැගෙන ඒ පිරිත් සජ්ජායනාවේ ප්‍රතිඵල අත් විදින්නට තරම් මම භාග්‍යයවන්ත වීමී.

විවිධ රෝග ගණනාවකටම ඔබ වහන්සේ සමාධිමය ඖෂධ මතු කර දුනි.එය ඉතා කලාතුරකින් ලොව පහලව බොහොම ඉක්මනට යටපත්වන ක්‍රමවේදයක් බව ඖෂධ සැකසූවන් ප්‍රතිකාර ලැබූ පිරිසත් දැන සිටින්නට ඇද්දැයි සැක සහිතය.ඹෟෂධය වන්නේ එකතු කරන සංයෝග නොව.සංයෝගයන්ගේ එකතුව නිසා ශක්ති කිරන වල ක්‍රීයාකාරීත්වය ඇති කරවයි. රෝග සුවපත් වන්නේ එම කිරන ක්‍රියාකාරීත්වය හේතුවෙනි.එවැනි දුර්ලභ ඹෟෂධ ශක්තිය ලොවට දුන්නේ ඔබ වහන්සේය.

ඔබ වහන්සේගේ නොකියාම බැරි හැකියාවක් තිබුණු බව සැබෑවක්මය.

ඒ බව ලොව තාක්ෂණික හැකියාවන් පිළිබඳව ඇති ඉහලම ආයතනයද පිළිගත් බව ඔබ වහන්සේ දෙසා ඇත.ඒ හැකියාව තිබුණේ ඔබ වහන්සේට ම පමණකි. මෙතෙක් අප දැනන් සිටියේ පදාර්තයේ අන්තිම අවස්ථාව පරමාණුව බවය. නමුත් එය එසේ නොව පරමාණුව බිදිය හැකි බවත් පියවරෙන් පියවර විග්‍රහ කරමින් පදාර්තයේ සැබැම පරමාණුව වු ශුද්ධාෂ්ටකයට බිදීමට තරම් ඔබ වහන්සේට හැකියාව තිබුණි.

තාක්ෂණික පර්යේෂණ වල ඉහලම ආයතනය සමග සම්බන්ධ වීමට ඔබ වහන්සේට හැකියාවක් තිබුණි. මේ සියල්ල අප දැනුවත් වුයේ ඔබ වහන්සේගේ දෙසුම් තුලින්මය.ඒ ඔබ වහන්සේ පිළිබඳ වු ව්ශ්වාසය නිසාවෙනි.

නමුත් මහා ඛේදවාචකය ඔබ වහන්සේ වටා සිටි බොහෝ පිරිසකට එය තේරුම් ගැනීමට නොහැකි වීමයි.ඔබ වහන්සේට බොහෝ පුත්තු සිටියහ.එයින් නාස්තිකාර පුත්තු සිටියේ ඔබ අසලමය.පියා මහත් වෙහෙසක් දරා උපයන සියලු ශක්තිය මොහොතකින් විනාශ කර දමන්නට පුදුම හැකියාවක් නාස්තිකාර පුත්තුන්ට ඇත.එවැනි පුත්තු බහුල නිවසක දියුණව සිහිනයකි.එ පරිද්දෙන්ම ඒ නාස්තිකාර පුත්තු ඔබ වහන්සේ ඉපයු බොහෝ ශක්තින් ඔහේ දිරාපත් වන්නට හැරියේය. 

"ලොකු හාමුදුරුවන්ට සමාධිය වැරදිලා මාරා වේශයක් තියෙන්නෙ දැන් කියන ඒවා ටිකක් අවුල්" නාස්තිකාර පුත්තුන්ගේ එවැනි මොට්ටකම් නිසා බොහෝ ශක්තීින් අපතේ ගිය බව දනිමි.ඔබ වහන්සේට නැගුණු දියසෙත් ඹෟෂධය පවා පරිහරණය කිරීමට ලැබුණේ ඉතාම සුළු පිරිසකට පමණි.  එය දියසෙත් ඹෟෂධය බව නාස්තිකාර පුත්තු තවම නොදන්නවා ඇත.

දිනක් අනුරාධපුර සෙනසුනේ දී මම ඔබ වහන්සේගෙන් ඒ අදහස් පිළිබඳව විමසීමි.  "මට පේන දේ තමා මම කිවුවෙ ඒක මොකක්ද කියලා විග්‍රහ කරගන්න ලොව්තුරා බුදු කෙනෙක්ගෙන් අහන්න ඕනෙ.මම කිවුව සෑම දෙයක්ම හොද සිහියෙන් තමා කිවුවෙ." ඔබ වහන්සේගේ පිළිතුර අද ද පටිගත සටහන් ඇත.

කෙසේ හෝ සියලු දේ අවසානය.

මේසා මහා යුග පුරුෂයෙක් වූ ඔබ වහන්සේ නිහඩවම නිවීයාම පිළිබඳව නැවත නැවතත් සිත තුල සංවේගයන් ජනිත වේ. කෙසේ හෝ චිත්ත ප්‍රභාෂ්වරත්වය නැගෙන තෙක් විසදුම් නොමැති පැන රැසක් ඉතිරිය. එසේ වුවද ඔබ වහන්සේ ලද විමුක්තිය නිරාමිස සතුටක් ඇති කරයි. වීර්යය වඩවයි. ඔබ දෙසූ වදනක් සිවු මසකට පෙර අසන්නට ලැබීමී.

"මහත්තයො මිල්ල ගහ මලාට පස්සෙ තමා ඇට පැළ වෙන්නේ."

මෙය සවනතට වැටුණු මොහොතේ මා තුළ සංවේගයත් ආත්ම දෝෂාරෝපණයත් ඇති වු බව සැබෑය.මා විසින් අදිටන් තැබුවත් වෙර වැඩුවත් නොසිතූ මොහොතක ඔබ වහන්සේ මිල්ල ගස විය.

ඔබ වහන්සේ තුළින් නැගුණු ඒ දයා ගුණය මා තුල සදා මතකයකි. ඔබ වහන්සේගේ "බැනුමක" ද ඇති වටිනාකම අසීමිත බව දනිමි.මා කෙරෙහි කරුණාවෙන් ඔබ වහන්සේ ආදේශනා පෙළහර පමණක් නොව උතුරු මිනිස් දම් ගුණයෙන් පෑ පෙළහර මම දනිමි.

තුන් ලොවට අග්‍ර වූ ලොව්තුරා බුදු පියාණන්ගේ සාසනය තුල ඔබ වහන්සේ මට සුළු පියාණනන් වැනිය. පියා නැති කල දරුවන්ට රැකවරණය ලැබෙනුයේ සුළු පියාගෙනි. එබැවින් අද ද මතු ද ඔබ වහන්සේගේ දරු ගුණය නොඉක්මවන්නෙමි. ඔබ වහන්සේ දුන් සදහම් ආලෝකයෙන් ලොව අනිසි,දුක්,අනත් ලෙස යථා තතු දකිමි. බොහෝ ජනයාගේ හිත පිණිස සුව පිණිස නිවන් පිණිස ඒ උතුම් සදහම් කලණ වැට හැකි පමණින් පවත්වන්නෙමි. 

මේ ඔබ වහන්සේට මාගේ නමස්කාරයයි!

පූජනීය වන්දනීය අවිස්සාවේල්ලේ පියරතන හිමියන් විසින් තැබූ සටහනකි!