පුංචි ප්‍රවේශයක්!

පුංචි ප්‍රවේශයක්!

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමියන් දැනට වැඩ වාසය කරන්නේ ගෝණගල්දෙණිය, වහරක අරියචින්තාශ්‍රම විහාරස්ථානයේයි.  උන්වහන්සේගේ සත්ධර්ම දේශනාවන් ඇසීමට දැනට හැකියාව තිබෙන්නේත් පුරපසළොස්වක පොහොය දිනයට සහ අමාවක පොහොය දිනයට විහාරස්ථානයේදී පවත්වන සීල වැඩසටහන් වලදීයි.  මම දන්නා තරමින් නම් ප්‍රසිද්ධ නාලිකාවල හෝ වැඩසටහන් වල හෝ විහාරස්ථානයෙන් බැහැර ස්ථානවලදී උන්වහන්සේ ධර්ම දේශනා පවත්වන්නේ නෑ.  වසර කීපයකට පෙර නම් ජාතික රූපවාහිනිය ආදී රූපවාහිනී නාලිකා වල උන්වහන්සේගේ දේශනා අසන්නට ලැබුණා.  

ඉතින් උන්වහන්සේගේ දේශනා තුලින් පෝෂණය ලැබූ පුද්ගලයෙක් වශයෙන් සත්ධර්ම මාර්ගයේ රාගක්ෂය ද්වේශක්ෂය කරන වැඩපිලිවෙල සාර්ථකව කරගෙන යෑම පිණිස  හේතු උපකාර වූ බොහෝමයක් දේශනා මෙම වෙබ් අඩවිය ඔස්සේ ඒවා අසන්නට හිතැති ඔබටත් ලබාදීමට කටයුතු කරලා තියෙනවා.  ඉතින් උන්වහන්සේ ගැන නොයෙක් දෙනා නොයෙක් අයුරින් කථා බහ කලත් මගේ අත්දැකීම් තුලින් නම් මගේ නිවන් මග සාර්ථක කරගැනීමට සත්ධර්මයෙන් පෝෂණය ලබන්නට මුල මැද අග කළණ වූ පරිපූර්ණ විග්‍රහ කිරීම් සමගින් සත්ධර්මය ලබාදුන් හිමි නමක් වශයෙන් මම උන්වහන්සේව හදුන්වාදෙන්නට කැමැතියි.

ඒ විතරක් නෙවේ මේ සත්ධර්මය තුලින් පෝෂණය ලබන්නට ලබන්නට ඒ ධර්මයේ ගැඹුර අත්දැකගන්නට ගන්නට තමයි මට වැටහුනේ මේ වහරක අභයරතනාලංකාර හිමියන් විසින් බොහෝම කෙටියෙන් කියන්නේ කොච්චර නම් ගැඹුරු සදහම් කරුණුද කියලා.  බොහෝ දෙනෙක් තේරුණාය කියලා හිතුවත් ඒ ධර්මය තුල වචනයෙන් එහාට ගිය කොච්චර නම් ගැඹුරු අර්ථයක් අත්දැකගන්නට තිබෙනවාද කියලා බොහෝ අවස්ථාවල වැටහුණා.  කෙටියෙන් කියනවා නම් එයම අභිධර්මය සේ කිව්වොත් නිවැරදියි.  බොහෝ අවස්ථාවල උන්වහන්සේගේ දේශනා තුල ගැබ්වෙලා තියෙන්නේ බොහෝම ඉහළ ප්‍රඥා මට්ටමකට එකවර හසුවන අවස්ථාවන් කියලා යම්තමට හෝ වැටහෙන්නේ මේ ධර්මයේ ඇසුර ලබන විටම පමණයි.  

ඉතින් උඩින් මත්තෙන් උන්වහන්සේගේ දේශනා අසා බැන වදින හෝ උපහාස හෝ අපහාස කරන යම් පිරිසක් වේ නම් ඒ දූෂ්‍යභාවය නැති කරගන්නට තිබෙන එකම මාර්ගය මේ සත්ධර්මය තුලින්ම ප්‍රඥාව ලබාගෙන මේ ධර්මයේ ආශ්චර්යය තමන්ම අත්දැකගන්නා තැනකට පත්වීමයි.  වචන ගොඩක් පාඩම් කරගෙන නම් තර්ක වාද කරමින් ලෝකයම ජයගන්නට හැකි ධර්මයක් නෙවේ මේ සත්‍ය වූ සත්ධර්මය.  එය නිවීම පිණිසමයි.  වචනයන් තුලින් සම්මතයන් තුලින් අපට ගැඹුරු සත්ධර්මය වුණත් යටපත් කරදමන්නට හැකියි.  බොහෝ පිරිසක් පිළිගන්න නිසා නෙවේ අප පිළිගත යුතු වෙන්නේ මේ කියන දේ තුලින් තමන්ට ලැබෙන යහපත හෙවත් එකම යහපත වන රාගය ද්වේශය මෝහය ක්ෂය වෙන වැඩපිලිවෙල තමන් තුල ඇතිකරගැනීම තුලිනුයි.  ඉතින් මේ අතිශෝක්තියෙන් වර්ණනා කරනවා නෙවේ.  උන්වහන්සේට හිමිවිය යුතු ගෞරවය කළගුණ සැළකීම පුදන්නට සුදුසු උත්තමයන් වෙනුවෙන් දෙන්නට දෙවරක් සිතන්නට අවශ්‍ය නොවෙන නිසාමත් සිත පැහැදගත් යමෙක් වේ නම් ඒ සිත තවත් පැහැදීමටත් සිත් නොපැහැදවූවන්ට නැවතත් සිතා බලා තමන්ගේ යහපත උදාකරගැනීමට ඵල ප්‍රයෝජන ගන්නටත් හේතු වේවා යන අදහස ඇතිවමයි මේ ලියන්නේ.  

ඉතින් උන්වහන්සේ ගැන බොහෝ දෑ දැනගන්නට උන්වහන්සේගේ සත්ධර්ම දේශනා ලිපි ඇසුරු කරන්නට උන්වහන්සේට හිතැති බොහෝ පිරිසක් විසින් සිදු කරන අන්තර්ජාල ප්‍රචාරක කටයුතු ආදිය දැනගන්නට ඔබටත් මේ පිටු කීපය තුලින් අවස්ථාව ලබා දෙන්නට මෙසේ කටයුතු කරමි.