සංඥා ස්කන්ධය හඳුනාගනිමු

රූපයේ ඇත්ත නොදත් විට ඒ ඔස්සේ ලැබෙන වේදනාවද පැටලෙනවා.  රූපයත් වේදනාවත් පැටලුන විට ඒ ඔස්සේ ලැබෙන සංඥාවත් පැටලෙනවා. 

එසේ නම් “ආධ්‍යත්මික වේවා, බාහිර වේවා, සියුම් වේවා, ඝණ වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ලඟ වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්ථමාන වේවා, ප්‍රත්‍ය නිසාවෙන් ඉපදුන යම් සංඥාවක් වේද ඒ හැම සංඥාවක්ම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි ලෙසින් අවබෝධ විය යුතුය... ඒ සංඥාව “මම“ය “මගේ“ය “මගේ ආත්මය“ ලෙසින් නොගැනීම විය යුතුය...“ ලොව්තුරු බුදු හිමියන් තුන් ලෝක වාසී සත්වයා අරඹා කලාවූ මේ දේශනාවේ හරය විනිවිද දැකිය යුතුමය. 

මිරිඟුවකට උපමා කොට සංඥාවේ යථාර්ථය අවබෝධ කරගත යුතුයි.

සංඥාව කුමක්ද, සංඥාවට හේතුව කුමක්ද, සංඥා නිරෝධය කුමක්ද, සංඥා නිරෝධ මාර්ගය කුමක්දැයි අවබෝධ කරගැනීමද සම්මා දිට්ඨියට පත්වීමයි.  නිවන පිණිස වූ පැවැත්ම නැවැත්ම පිණිස වූ, පෙර නොඇසූ විරූ සංඥාව විනිවිද දැකීම පිණිස... අවබෝධ කරගැනීම පිණිස... සංඥාස්කන්ධය යනු කුමක්දැයි මූලිකව හඳුනාගැනීමට මෙම කොටස ඔස්සේ කටයුතු කරමු. 

ඒ සඳහා එදිනෙදා ජීවිතයේ යෙදෙන උපමා උදාහරණ උපකාරයෙන්ද ත්‍රිපිටක දහම් කොටස් අනුසාරයෙන්ද විග්‍රහ කිරීම් සිදුකරගනිමු.  මේ වෑයමත් පෙර නොඇසූ විරූ සංඥා ස්කන්ධය අවබෝධයට උපකාරයක් පිණිස ඔබට හේතු උපකාර වෙත්වා!