ඛන්ධ විභංගයෙන් පංචස්කන්ධය

ඛන්ධ විභංගයෙන් පංචස්කන්ධය

අභිධර්ම පිටකයේ “විභංග ප්‍රකරණය“ කියන ග්‍රන්ථ දෙක තුල අපූරු රටාවක් තියෙනවා.  එය නිවන් මඟ කිව්වත් වරදක් නෑ.  ඒ නිසා මේ සෑම කොටසකම පළවෙනි විග්‍රහ ඒ කියන්නේ “විභංගයෙන්“ ලෙසින් නම් වී ඇති කොටස ඒ “විභංග ප්‍රකරණය“ තුල දහම් විග්‍රහයට අනුව පැහැදිලි කිරීම් සිදුකරන්නම්.  මන්ද එය දහමේ අපූර්වත්වය අඩු නැතිව පෙන්වන 84000ක ධර්මස්කන්ධයම මොනවට කැටිවන අතිවිශිෂ්ඨ දහම් කොටසක්.  අනුපිලිවෙලට ඉහල සිට පහලටත් පහල සිට ඉහලටත් දහම් මඟ බෙදා පෙන්වන... දහම් මඟ පූර්ණය වන පිළිවෙල පෙන්වන... දහම් විග්‍රහයක් තමයි අභිධර්ම පිටකයේ “විභංග ප්‍රකරණය“ කියන ග්‍රන්ථ දෙක තුල තිබෙන්නේ.  

විභංග ප්‍රකරණය තුල දහම් විග්‍රහය ඇරඹෙන්නේ “ඛන්ධ විභංගය“ හෙවත් පංචස්කන්ධය බෙදා විග්‍රහකරමින් පංචස්කන්ධය පිළිබඳව ලැබිය යුතු අවබෝධය පෙන්වා දෙමින්මයි.  මන්ද පංචස්කන්ධ පිළිබඳව අවබෝධයෙන් තොරව ලෝකය හඳුනාගන්නවා යැයි කිසිවෙකුටත් කියන්නට නොහැකියි.  ඒ අවබෝධයෙන් තොරව පංචඋපාදානස්කන්ධය හඳුනනවා යැයිද කිව නොහැකියි.  ඒ මන්ද? කෙසේද? එසේ වීමට හේතුව කුමක්දැයි මේ කොටස තුල මැනවින් විග්‍රහ කරගන්නට උත්සාහ කරමු.