විඤ්ඤාණ ස්කන්ධය හඳුනාගනිමු

රූපයේ ඇත්ත නොදත් විට ඒ ඔස්සේ ලැබෙන රූපයත් වේදනාවත් සංඥාවත් පැටලුන විට සිදුකරන සියලු සංස්කරණයන්, සකස් කිරීම්, සංකාර පැටලෙනවා. එසේ නම් අවසන් නිගමනය කෙසේ නම් නිවැරදි වෙන්නද?  විඤ්ඤාණ ලෙසින් කෙසේ නම් අර්ථවත් යමක් ලැබෙන්නද? 

“ආධ්‍යත්මික වේවා, බාහිර වේවා, සියුම් වේවා, ඝණ වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ලඟ වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්ථමාන වේවා, ප්‍රත්‍ය නිසාවෙන් ඉපදුන යම් විඤ්ඤාණයක් වේද ඒ හැම විඤ්ඤාණයක්ම අනිච්චයි, දුක්ඛයි, අනත්තයි ලෙසින් අවබෝධ විය යුතුය... ඒ විඤ්ඤාණ “මම“ය “මගේ“ය “මගේ ආත්මය“ ලෙසින් නොගැනීම විය යුතුය...“ ලොව්තුරු බුදු හිමියන් තුන් ලෝක වාසී සත්වයා අරඹා කලාවූ මේ දේශනාවේ හරය විනිවිද දැකිය යුතුමය. 

මායාකරුවෙක් පෙන්වන මායා දර්ශනයක් නම් වූ උපමාවට සමාන කොට විඤ්ඤාණයේ යථාර්ථය අවබෝධ කරගත යුතුයි.

විඤ්ඤාණ, විඤ්ඤාණයට හේතුව, විඤ්ඤාණ නිරෝධය, විඤ්ඤාණ නිරෝධ මාර්ගය කුමක්දැයි අවබෝධ කරගැනීමද සම්මා දිට්ඨියට පත්වීමයි.  සම්මා දිට්ඨියට පත්වීම යනු සෝතාපන්න වීමයි.  නිවන් මඟට පළමුවරට සැබෑවටම අවතීර්ණ වීමයි.    එසේ නම් නිවන පිණිස වූ පැවැත්ම නැවැත්ම පිණිස වූ, පෙර නොඇසූ විරූ විඤ්ඤාණය විනිවිද දැකීම පිණිස... අවබෝධ කරගැනීම පිණිස... විඤ්ඤාණ ස්කන්ධය යනු කුමක්දැයි මූලිකව හඳුනාගැනීමට මෙම කොටස ඔස්සේ කටයුතු කරමු. 

ඒ සඳහා එදිනෙදා ජීවිතයේ යෙදෙන උපමා උදාහරණ උපකාරයෙන්ද ත්‍රිපිටක දහම් කොටස් අනුසාරයෙන්ද විග්‍රහ කිරීම් සිදුකරගනිමු.  මේ වෑයමත් පෙර නොඇසූ විරූ විඤ්ඤාණ ස්කන්ධය අවබෝධයට උපකාරයක් පිණිස ඔබට හේතු උපකාර වෙත්වා!