කාශ්‍යප බුදු හිමි කල උපාසක
10 මැයි 2015
ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළවී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටුවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උස ස්වර්ණ චෛත්‍යයක් කරවූහ. ඒ චෛත්‍යයට පිරිවර සහිතව පැමිණ රජතුමා හා නුවර වැස්සෝ ද දිනපතා මල් ගෙන ගොස් පිදූහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දිනක් උපාසකයෙක් මල් සෙවීමට මාලාකාර වීථියෙහි ඇවිද එක් කහවණුවකට එක බැගිනුදු මල් සොයාගත නොහැකිව කහවණු අටක්ද රැගෙන මල් වත්තකට ගියේය.
එහි ගොස් මේ කහවණු අටට මල් අටක් හෝ ඉල්ලීය. මල් සියල්ල නෙලා දී අවසන් යෑයි මල්කරු කීය. උපාසක තෙමේ මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමියි කීය. එසේ නම් උයනෙහි ඇවිද සොයාගන්න යෑයි මල්කරු කීය. උපාසක තැන උයනට පිවිස මල් සොයමින් ඇවිදින විට බිම වැටී තිබූ මල් අටක් ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් ඔහුට කහවණු අට ගන්නැයි කීය. "මේ මල් ලැබී ඇත්තේ ඔබේ පිනෙනි. ඒ නිසා මේවාට මම මුදලක් නොගනිමියි මල්කරු කීය.
"මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නොපුදමියි" කියා උපාසක තැන කහවණු අට මල්කරු ඉදිරියේ තබා මල් රැගෙන ගොස් සැදැහයෙන් චෛත්‍යයට පිදීය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව ඉපදින. මෙසේ නැවත නැවත දෙව්ලොවෙහි උපන් උපාසක තැන ගෞතම බුදුන් සමයේ ද එහිම විසුවේය.
දිනක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ හැසිරෙන සේක් මහත් වූ ශ්වේත හස්තිරාජයකු පිට නැගී අප්සරාවන් පිරිවරා දිශාවන් ආලෝකවත් කරමින් දිව්‍යානුභාවයෙන් අහසෙහි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළ සේක. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටි සේක. එකල්හි තෙරුන් වහන්සේ දෙව්පුත් අමතා "තොප මේ සම්පත්තිය ලැබූයේ අතීතයේ කිනම් කුශලයකින්දැයි විමසා සිටි සේක.
හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට නටුවෙන් ගිලිහුණු මල් අටක් පහන් සිතින් පිදුවෙමි. මාගේ මේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒපිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍යභෝජනාදී වස්තු මට ඒ පිනෙන් පහළවන්නේ යෑයි කීය.