සුමන මල්කරු

ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක්‌ විය. එක්‌ දිනක්‌ තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ භික්‍ෂූන් පිරිවරා බුදුරැස්‌ විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන්, බුද්ධ ලීලාවෙන් පිඬු පිණිස රජගහ නුවරට වැඩි සේක. රජුට සමන් මල් අට නැළියක්‌ ගෙන යන්නා වූ සුමන මල්කරු දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුක්‌තව, ෂඩ් වර්ණ බුද්ධ රශ්මියෙන් ශෝභමානවූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැක, රජුට ගෙන යන මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතීය...

සුමන මල්කරු

  10 මැයි 2015

ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක්‌ විය. එක්‌ දිනක්‌ තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ භික්‍ෂූන් පිරිවරා බුදුරැස්‌ විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන්, බුද්ධ ලීලාවෙන් පිඬු පිණිස රජගහ නුවරට වැඩි සේක. රජුට සමන් මල් අට නැළියක්‌ ගෙන යන්නා වූ සුමන මල්කරු දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුක්‌තව, ෂඩ් වර්ණ බුද්ධ රශ්මියෙන් ශෝභමානව, රුවන් පහන් ගසක්‌ වැනි වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැක, අතිශය ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේට පූජාවක්‌ කරන්නෙමිදෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක්‌ නොමැතිව රජුට ගෙන යන මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතීය.

රජුට ගෙන යන මල් නොලැබී රජු කිපී මා මරන්නටද පිළිවන, රටෙන් නෙරපන්නට වුවද පිළිවන. එහෙත් කරන්නට දෙයක්‌ නැත. රජු කරන දෙයක්‌ කරත්වා, මේවා රජුට දීමෙන් ඔහු මට ලබා දෙන්නේ මේ ආත්මයේ ජීවත්වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් පිදුවොත් එය මට අනන්ත කල්ප කෝටියක්‌ සැප ගෙන දෙන පින්කමක්‌ වන්නේ යෑයි සිතා "මේ මල් බුදුණුවන්ටම පුදමියි ශ්‍රද්ධා සිතින් සමන් මල් දෙමිටක්‌ ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේය.

ඒ මල් එකකුදු බිම නොවැටී සම්මාසම්බුදුරජාණන් වහන්සේ මත වියනක්‌ මෙන් විසිර සිටියේය. එය දැක අතිශයින් චිත්ත ප්‍රීතියට පත් සුමන මල්කරු තවත් මල් දෙමිටක්‌ ගෙන බුදුන් දෙසට විසි කළේය. ඒ මල් බුදුන්ගේ දකුණු පසින් තිරයක්‌ මෙන් සිටියේය. නැවත වරක්‌ සමන් මල් දෙමිටක්‌ විසි කළ විට ඒවා බුදුන් වහන්සේගේ පිටුපසින් තිරයක්‌ මෙන් සිටියේය. තවත් මල් දෙමිටක්‌ විසි කළ විට ඒවා බුදුන් වහන්සේගේ වම් පසින් තිරයක්‌ මෙන් පිහිටා සිටියේය.

බුදුරජාණන් වහන්සේ රිදී පටකින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළ සේක. එකම මලකුදු බිම නොවැටී නොවිසිරී තථාගතයන් වහන්සේ අනුව ගියේය. ඒ ප්‍රාතිහාර්යය දැක සුමන මල්කරුගේ සිත පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. බිම්බිසාර රජතුමාද ඒ ප්‍රාතිහාර්යය නරඹමින් චිත්ත ප්‍රීතියට පත්ව සුමන මල්කරු ගෙන්වා කරුණු විමසා සිටියේය. රඡ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා, රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිත පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමියි කීය.

රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී ඇතුන් අටදෙනකුද, අශ්වයන් අටදෙනකුද, දාසයන් අටදෙනකුද, දාසියන් අටදෙනකුද, කහවනු අටදහසක්‌ද, මහාර්ඝ පළදනා ද, සර්වාලංකාරයෙන් සැරසුණු කාන්තාවන් අටදෙනකු ද ගම් අටක්‌ ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කළේය. සෑම දෙය අට බැගින් වූ ඒ පරිත්‍යාගය සර්වාෂ්ටක නම් විය. ඒ මල්කරු මල් පූජාවෙන් එදිනම ලැබු අනුසස්‌ විය.

ආනන්ද ස්‌ථවිරයන් වහන්සේ සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදැසන පටන්ම මහා ප්‍රීති ඝෝෂාවක්‌ පවත්නේය. ඔහුට ඉන් ලැබෙන විපාක කුමක්‌ දැයි තථාගතයන් වහන්සේගෙන් විමසා සිටිසේක. මේ මල්කරු විසින් කරන ලද්දේ සුළු පූජාවක්‌ යෑයි නොසිතව, හෙතෙම මා කෙරෙහි ඇතිකර ගත් චිත්ත ප්‍රසාදයෙන් කල්ප ලක්‍ෂයක්‌ දුගතියකට නොපැමිණෙන්නේය. එතෙක්‌ කල් ඔහු දෙව් මිනිස්‌ සැප විඳ අවසන සුමන නම් පසේ බුදු වන්නේ යෑයි තථාගතයන් වහන්සේ වදාළ සේක