බලහත්කාරයෙන් දීම!

  01 ජූලි 2015

බලහත්කාරයෙන් දීම! Copyright Claims

Article summary

ධර්මය අංශු මාත්‍රයක් හෝ දැනගත් විට තවත් කෙනෙකුට ලබාදීමට උත්සාහවන්ත වීම සාමාන්‍ය සිද්ධියක්. එසේ සිදුවන්නේ ඒ පුද්ගලයන් කෙරෙහි ඇතිවන අනුකම්පාව නිසාමයි. එහෙත් කොතරම් අනුකම්පාවක් සංවේගයක් සිතට දැනුනත් යමෙකුට ධර්මය බලහත්කාරයෙන් දීම සුදුසුස දෙයක් නොවේ!

බුදු හිමියන් අසල්වාසී චුන්ද සූකරයන්ට ධර්ම දානය නොකල හේතුව ගැන විමසා බලන්න.  ධර්මය කියන්නේ සසර බිඳ හෙලන්නට හැකියාවක් තියෙන අපූරු ශක්තියක් ගැබ්වෙන දෙයක්.  කෙනෙක් මෙයට විරුද්ධ වෙනවා කියන්නේ ඒ පුද්ගලයා ඒ ශක්තිය ප්‍රතික්ෂේප කරන්නට ඒ හා සමාන අයහපත් විරුද්ධ ශක්තියක් යොදවනවා.  ඒ තුලින් සකස් වෙන ඵලය තමයි ඒ පුද්ගලයාට අයහපත් ප්‍රතිඵල ගෙන එන්නේ. 

මහා කරුණාවක් මෛත්‍රියක් හිතේ දරාගෙන සසර දුකෙන් ගලවා ගන්නට ධර්මයක් දානය කරන්නට සැරසෙන පුද්ගලයාට විරුද්ධ වන්නට යොදන ප්‍රතිවිරුද්ධ ශක්තියේ ප්‍රබල බව නිසාම ප්‍රතිඵලයත් ප්‍රබලවම ලැබෙනවා.  බොහෝ විට ඉතාමත් දුක්ඛිත සතර අපාගත උප්පත්තීන් ලැබෙන්නේ ඒ නිසයි. 

ඉතින් පාරේ යන ගෑණු ලමයෙක් බලහත්කාරයෙන් ඉඹින්න ගියොත් ගුටි කන්න වෙනවා වගේ තමයි ධර්මය වුණත් බලහත්කාරයෙන් දෙන්න ගියොත් ප්‍රථිපලය දෙපාර්ශවයටම නරකයි.  මේ පිළිබඳව ධර්ම දානයේදී සැලකිලිමත් විය යුතු කරුණු යටතේදී ත්‍රිපිටක සත්දර්මයද උපකාර කරගෙන පහදා තිබෙනවා. 

ධර්මය කියන්නේ බලහත්කාරයෙන් දෙන්නට හැකි දෙයක් නොවේ.  සමහර අවස්ථා වලදී අත්දැකලා ඇති සමහර දුප්පත් මිනිසුන්ට ඒ තත්වයෙන් මිදෙන්නට කොතරම් උපකාර කලත් ඒ අය ඒ තත්වයෙන් මිදෙන්නේම නෑ කියලා.  දෙන දේත් විකුණලා හෝ විනාශ කරගෙන ඉන්න තත්වයේම හෝ ඉන්න තත්වයට වඩා පහත් වෙන්නටම තමයි කටයුතු කරගන්නේ.  අන්න ඒ වගේ කොතරම් වටිනා දෙයක් වුණත් සියලු දුක් නැති කරගන්නට හේතු වුණත් ධර්මය කියන්නේ බලහත්කාරයෙන් ලබා දෙන්නට හැකි දෙයක් නොවේ. 

ඉතින් ඔබ මේ සියල්ල සිත්හි දරාගෙන පැවැත්ම නැවැත්ම පිණිස වූත් නිවන පිණිස වූත් ලෝකෝත්තර දහමක්ම කල යුතු නිසි ආකාරයෙන් දානය කරන්නට අදිටන් කරගන්න.  එවිටයි ඒ කාරුණික ක්‍රියාව තුල ප්‍රඥාව ගැබ්වුණාය කියලා කියන්නට හැකිවන්නේ.