නැවත ලැබෙන ලාභය

නැවත ලැබෙන ලාභය

යම් ආහාරයක් ගැනීමෙන් ජීවිතය පවත්වාගන්නට ආයුෂ මෙන්ම වර්ණයක් සැපයක් බලයක් ලැබෙනවා.  ඒ වගේම බුද්ධි වර්ධනයටද පසුතලය සැකසෙනවා.  මේ ආහාරයක් නිසාවෙන් සාමාන්‍ය තත්වයන් යටතේ අප ලබන්නාවූ දෑයි.  ඉතින් අන්න ඒ නිසා නිවන් මාර්ගයට කැපවී සිටින්නාවූ පිරිසට නිවන් අවබෝධයෙන් යුතුව සිටින්නාවූ උතුමන්ට ආහාරමය දානයක් පූජා කරනවා කියන්නේ ආයූෂ, වර්ණය, සැපය, බලය, පටිභාන ඥාණය දුන්නා හා සමානයි. 

කුමක්ද මේ ආයුෂ?

නිසි ධර්මයක් නොදැන යථාර්ථයක් නොදැන මූලාවූ ලෝකයක මූලාවූ වැඩපිලිවෙල තුල අතරමංව අවුරුදු සිය ගණනක් දිවි ගෙවූවත් ඒ ලැබූ ආයුෂයෙන් නම් ඵලක් නැති බව නැණවත්ව වටහාගත යුතු වෙනවා.  අවුරුදු සියයක් ක්‍රියාශීලිව කටයුතු කරගන්නට හැකිවුවත් යථාර්ථයක් නොදැන ධර්මයක් නොදැන නම් හැසිරෙන්නේ අවුරුදු සියයක් පණ පිටින් කටයුතු කරන්නාවූ මළ මිනියක් හා සමානයි.  එවන් වූ හිස් ජීවිතයක් ලැබීම පිණිස ලබන්නාවූ ආයුෂයක් නම් නොවේ ධර්මය තුලින් ලැබෙන ආයුෂ.  නිවන් මාර්ගය වැඩූ උතුමන් හෝ වේවා නිවන් මාර්ගය පූර්ණය කරගැනීමට කටයුතු කරන්නාවූ උතුමන් හෝ වේවා පැයක් හෝ වේවා දිනක් හෝ වේවා සතියක් හෝ වේවා යමක් සිතමින් කියමින් කරමින් කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන්නේ උතුම්වූ නිවන් සුවයෙන්මයි...  ඒ නිවන් සුවයම ලැබගැනීම පිණිසමයි.  අන්න ඒ යථාර්ථය මෙනෙහි කරමින් ධර්මාවබෝධයෙන් යුතුව ගත කරන පැයක් වුවත් හිස් මිනිසෙක් ලෙසින් ගත කරන්නට ලැබූ අවුරුදු සියයකට වඩා අග්‍ර‍යි... උත්තරීතරයි... අන්න එවන් වූ ධර්මයක් ඇසුරෙහි කාලය ගෙවන්නට ඵල ලබන්නට ප්‍ර‍ඥාව පූර්ණය කරගන්නට අවශ්‍ය කරන ජීවිත කාලයක් හෙවත් ආයුෂය තමයි ආහාරමය දානයක් පූජාවන් ලබන්නාවූ උතුම් ආයුෂය.  උතුම් බුද්ධරත්නය කෙරෙහි හෝ වේවා උතුම් සඟ රුවනට හෝ වේවා  උපාසක උපාසිකාවන්ට හෝ වේවා ආහාරමය දානයක් ලබා දීමෙන් ඔවුනටද ලැබෙන්නේ එවන් වූ ආයුෂයක්මයි.  ඒ හේතුවට ඵලය ලෙසින් ඔවුන් ඇසුරෙන්ම යථාවබෝධයට පත්ව නිවීම පිණිස කටයුතු කරගන්නට අවශ්‍ය කරන ආයුෂ ඔබටද ලැබෙන්නේ දුන්නාවූ ආහාරමය දානයට මෙලොවදීම ලැබෙන්නාවූ ඵලයක් ලෙසින්මයි. 

කුමක්ද මේ වර්ණය?

ඔබේ වර්ණය කොතරම් පැහැපත් වුණත් ඔබේ සිතේ විවිධාකාර ආශාවන්, ඉරිසියාව, ක්‍රෝධය, වෛරය ආදී ගති පැවතුම් වලින් පිරී ඉතිරී නම් ඔබේ පැහැපත් කම අභිබවා ඒ දුර්ගුණයන් ඉස්මතු වෙනවා.  ඔබේ සමේ පැහැය කුමක් වුවත් මේ කියන්නාවූ දුර්ගුණයන් ඔබට දුර්වර්ණයක්මයි ගෙන දෙන්නේ.  ඔබේ සිත යහපත්නම් ආශාවන්ගෙන් මිදෙමින් තරහා වෛරය ක්‍රෝධ ඉරිසියා ආදී දුර්ගුණයන්ගෙන් මිදෙමින් මෛත්‍රියෙන් යුතුව ප්‍ර‍ඥාවන්තව කටයුතු සිදුවෙනවා නම් ඒ වර්ණය බාහිරයටද දිස් වෙනවා.  අන්න ඒ වර්ණයට අප “පින් පාට“ යැයි කියනවා.  මෙන්න මේ පින් පාට ලබන්නට හැකි වන්නේ ධර්මය ඇසුරෙන්මයි.  එවන් වූ වර්ණයක් ලබන්නට ධර්මයක් ඇසුරු කරන්නට ඔබට අවස්ථාව සැලසෙන්නේ ඔබ ආහාරමය දානයක් ලබාදෙන්නට කටයුතු කරන උතුම් වූ තෙරුවණ ඇසුරෙන්මයි.  අන්න ඒ නිසා අවබෝධයෙන් යුතුව තෙරුවණ උදෙසා පුදන්නාවූ ආහාරමය දානය තුලින් ඔබට අන් කිසිඳු ආහාරයක් නිසාවෙන් ලබාගන්නට නොහැකි වර්ණයක් ලබාගන්නට හැකිවෙනවා. 

කුමක්ද මේ සැපය?

ධර්මය තුලින් ලැබෙන්නාවූ සැපය භෞතිකවූ දෑ ඔස්සේ ලබන සැපයට අංශු මාත්‍ර‍තරමින්වත් සමාන කල නොහැකියි.  අසහනයෙන් යුතු මානසිකත්වයකින්ම ලබන්නාවූ ලෞකික සැපය මායාවක්ම මිස එය සැබෑ සැපයක් නොවන බව වටහාගන්නට හැකිවෙන්නේද ධර්මාවබෝධය තුලින්මයි.  යථාර්ථය අවබෝධයෙන් අනතුර හැඳින අසහනයකින් තොරව ලබන්නාවූ සැපය ලබන්නට හැකිවන්නේ ධර්මය තුලින්මයි.  අන්න එවන් වූ සැපයක් ලැබීම පිණිස අර්ථවත්ව අවබෝධයෙන් යුතුව දානමය කටයුතු කිරීම ඔබට යහපතක්ම ගෙන දෙනවා.

කුමක්ද මේ බලය?

බලය කියන්නේ බොහෝ දෙනෙක් සොයන ලැබූ විට අනිසි ලෙස යොදවා ලෝකය ජයගන්නට උත්සාහ කරන ප්‍ර‍බල අංගයක්.  එහෙත් මුලාවූ ලෝකයක මුලාවූ බලයක් ලැබුමෙන් කුමන නම් ඵලක්ද?  පහතට ගලා බසින දිය දහරක් සහිත මහා ගංගාවක උඩුගම් බලා පිහිනන්නට නම් මහා බලයක් අවශ්‍ය වෙනවා.   පංච කාම ආශ්වාදයෙන් මත්ව මූලාවූ ලෝකයක අතරමංවූ සත්වයන් අතර ඒ ආශ්වාදයේ නිසි තතු දැන ඒ මුලා ලෝකයෙන් එතෙර වන්නට නම් මහා බලයක් අවශ්‍ය වෙනවා.  අන්න එවන් වූ මහා බලයක් ලැබගෙන කටයුතු කලාවූ කටයුතු කරන්නාවූ උතුම් පිරිසක් වෙනුවෙන් දෙන්නාවූ දානයද එවන්වූ බලයක් ඵලය ලෙසින් ගෙන දෙන්නට හේතු උපකාර වෙනවා.  සමහර අවස්ථාවලදී එවන්වූ දානයක් දෙන්නටත් ඔබට මහා බලයක් අවශ්‍ය කරනවා.  එසේ යෙදවූ බලය පුරුද්දක් වී ඔබ තුල මේ කියන්නාවූ බලය වර්ධනය කරගන්නට රුකුලක්ම වෙනවා. 

ලැබෙන්නාවූ පටිභාන ඥානය කුමක්ද?

මේ සියලු ආයුෂ, වර්ණයන්, සැපයන්, බලයන් සියලු බැමි බිඳ හරිමින් සසර දුක් කෙලවර කරගැනීම පිණිස ප්‍ර‍ඥාව උපදවා ගැනීම පිණිසමයි.  එසේ ප්‍ර‍ඥාව උපදවාගත්තාවූ උතුමන්ට එසේ ප්‍ර‍ඥාව උපදවා ගන්නට කටයුතු කරන්නාවූ උතුමන්ට පුදන දානය නිසාම එවන්වූ උතුමන් ඇසුරු කරන්නට අවස්ථාවක් ඔබටද ලැබෙනවා.  එයම ඔබට මේ කියන්නාවූ ඥානය උපදවාගැනීමට ප්‍ර‍ඥාව උපදවාගැනීමට මහා රුකුලක් වෙනවා. 

ඉතින් කෙටියෙන් කියනවා නම් අප මහා සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් අපටත් මහා රසවත් ආහාරයක් ලබා දී තියෙනවා.  ඒ තමයි අනන්ත ගුණැති උත්තරීතර ශ්‍රී සත්ධර්මය.  ඒ සත්ධර්මය නැමැති ආහාරය අප නිසි ලෙසින් වළඳන්නේ නම් අපටද ලැබෙන්නේ සත්ධර්මය තුල කටයුතු කරන්නට ලැබෙන ජීවිතයක්මයි.  එනම් ධර්මයේ හැසිරෙන්නට ආයුෂ ලැබුණා වැනිය.  ඒ ධර්මයෙන් පෝෂණය වන සිත නිසාම ලැබෙන්නේ පින් පාටක්මයි.  ඒ ධර්මාවබෝධයෙන් ලැබෙන සුවය මෙතෙකැයි කියා නිම කරන්නට නොහැකියි.  මුලා ලෝකයෙන් එතෙර වන්නට මාරයන් පරාජයන් කරන්නට ලැබෙන බලය ජවය අනන්තයි අප්‍ර‍මාණයි.  ඒ ධර්මය තුලින්මයි අපට ප්‍ර‍ඥාව පූර්ණය කරගන්නට හැකිවෙන්නේ. 

ඉතින් බුදු පියාණන්වහන්සේ විසින් දුන්නාවූ ඒ අසමසම ආහාරය වෙනුවෙන් කෘතෝපහාරයන් පුද කරන්නට මෙසේ අර්ථයන් ධර්මයන් නිසි ලෙසින් අවබෝධයෙන් යුතුවම කිරි ආහාර සහිත ආහාරමය දානයක් නොඅඩුව නිසි සේ සකසා තම තමන් කරගත්තා සේ පූජා කිරීම මහත් ඵල වූ නිවනත් මහානිශංසය වූ නිවනේ සුවයත් ලබාදෙනු නියතයි!

දියනොමුසු එළකිරෙන් පිස සඳුන් කුරුඳු ආදී සුවඳ දර භාවිතයෙන් ඉතාමත් පිරිසිදුව පිස ගෙන අනන්ත ගුණැති අප මහා සම්මා සම්බුදුරජාණන්වහන්සේලා පසේ බුදු පියාණන්වහන්සේලා මහ රහතන්වහන්සේලා ප්‍ර‍මුඛ කරගත්තාවූ ආර්ය මහා සංඝරත්නයෙන් පිරි උත්තරීතර ශාසනය උදෙසා සිදුකරන ඒ උතුම් කිරි ආහාර සහිත සියලුම ආහාරමය දානයන් තුන් සිත පිරිසිදුව පූජා කරන්නට බැති සිතින් යුතුව අධිටන් කරගැනීම ඔබගේ මෙලොව පරලොව දිවිය සරු කරන අතර නිවී සැනසීමටම පත්වීමට උපකාරයක් කුසලයක් වනු ඇත!