මල පරවෙන සේ පරවන මේ කය

  10 මැයි 2015

මල පරවෙන සේ පරවන මේ කය Copyright Claims

Article summary

සාමාන්‍යයෙන් මලක් පූජා කරන විට බොහෝ දෙනෙකුට සිහිවන අර්ථය තමයි මල පරවෙන සේ අපද පරවෙලා මියැදිලා යන ස්වභාවය... ඒ අරුතින් මල් පිදීමෙන් අප්‍රමාදීබව වඩාගන්නේ කෙසේද?

මලක් කියන්නේ බොහෝම කෙටි කාලයක් ලස්සනට ප්‍රාණවත්ව සුවඳත්ව වර්ණවත්ව තිබී පරවෙලා මියැදිලා කුණු වෙලා යන දෙයක්... මෙය අපගේ කයට සමාන කලොත් මේ දෙකෙහි වැඩි වෙනසක් නැති බව ඔබට වැටහෙනවා ඇති.

ඉතින් මල් පූජා කරන්නට සැරසෙන විට ඔබට මල් දෙස බලාගෙන මේ විදසුන එම මොහොතේමත් කරන්නට හැකිනම් එයයි වටින්නේ.  මලක් වගේ තමන්ගේ කය කොතරම් සුළු මොහොතක් ප්‍රාණවත්ව සුවඳත්ව වර්ණවත්ව තිබෙනවාදැයි විමසා බලන්න... එය මල සේම දුර්වර්ණ වී... මලානික වී... වියැලී... පරවී කුණු වෙන ස්වභාවය තම කය තුලින්ද දකින්න...

කොතරම් බඹරුන් සමනළයන් ආකර්ශණය වුණත් කොතරම් කෙටි කාලයකටද මේ සියලු රැඟුම් යන්න  නුවණින් දැකගන්න...

ඒ ආකරයෙන් නුවණින් දකින ඔබට මෙනෙහි විය යුත්තේ මේ වගේ ඇත්තක් දරාගෙන සිටින ඔබ මේ සියලු රැඟුම් ඇතිව තවදුරටත් කාලය නාස්ති කරගැනීම වැදගත්ද යන්නයි.  බුදු හිමියන් පෙන්වා දුන්නාවූ පෙර නොඇසූවිරූ දහම මතු කරගන්නට උත්සාහවන්ත විය යුතු නොවේදැයි තමන්ගෙන්ම විමසිය යුතුයි.  

කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්, සත්ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසෝමනසිකාරයෙන්, ධම්මානුධම්මපටිපදාවෙන් යුතු සෝතාපන්න අංග 4 අප්‍රමාදීව ලැබෙන්නට සලස්වා ඔබ මේ වන විට ලබා ඇති දුර්ලභ ජීවිතයෙන් නිසි ඵල නෙලාගත යුතු නොවේදැයි විමසිය යුතු වෙනවා.  

මලත් ගහේ තිබී ගහටද බරක් සාදා ඵල වැල සාදා මොහොතක් ආශ්වාද දී මිය යනවා.  එහෙත් බුදු හිමියන්ගේ පුදට ඇවිත් ඒ වැඩපිලිවෙල නවතා දමා මලත් අර්ථවත් තත්වයක් උදාකරගත්තා සේ ඔබටත් අප්‍රමාදීව අදිටන් කරගත හැකියි ඔබත් බුදු හිමියන් පෙන්වා දුන්නාවූ මගට පත්වෙනවායැයි සිතා.  

ඉතින් සෑම මොහොතක්ම මෙසේ සංසාර දුකෙන් මිදීම පිණිස සිත යොමු කරන්නේ නම් අපට ලැබෙන්නේ එසේ මෙසේ වාසියක් ලාභයක් නෙවේ.  එසේ නුවණැතිව සිතන්නා බාලයන් අතර නුවණැත්තෙක්... ඒ නුවණ ඔහුට / ඇයට ප්‍රඥාවන්තයෙක් බවට පත්වෙන්නට මඟ පෙන්වා දෙනවා.  නිවනින්මයි නතර වෙන්නේ.

ඉතින් මේ අරුත මෙසේ ඔබට අප්‍රමාදී වන්නට උපකාරයක්ම වේවි!