පණිවිඩය ලැබුණා ද?

  09 මැයි 2022

පද්ධතිය පවත්වා ගෙන යන න්‍යාය වූ මේ බෙදීම යනු සම්බුදු වදනට අනුව මැන ගැනීම... හෙවත් ලෝකයේ පිහිටීමයි. 

යමෙක් ලෝකය භාර ගැනීම යනු හොඳ හෝ නරක යම් අන්තයක් තෝරා ගැනීම ම වේ.  නමුත් ලෝකය ම අයිති මාරයාට බැවින් ඔබගේ තෝරා ගැනීම නිශ්ඵල වූ හරයක් නැති ඔබව වෙහෙස කරමින් විනාශය කරාම ගෙන යන්නක් පමණයි.  නමුත් මේ බව නො දන්නා, මේ බෙදීමට හසු වන ලෝක සත්වයා “මට යමක් ලැබුණා, මම ජයක් ලැබුවා” යැයි සතුටු වෙමින් වින්දනයක් ලබනවා. මතු බලාපොරොත්තු ඇති කර ගන්නවා.

ඉපදෙමින්, ලෙඩ වෙමින්, මහළු වෙමින්, මරණයට වහල් කම් කරමින්, මිරිඟුවක් පසු පස දුවමින්, අරටුවක් සොයා ගෙන කෙසෙල් කඳවල් පතුරු ගසමින්, පරාද වෙලා ම විතරමයි!

පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින, මේ මාරයා ගේ පද්ධතියට අයත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කර ගන්නට ඔබ උනන්දු නොවන තාක් ඔබ මේ පද්ධතියේ වහලෙක් පමණයි!  ඔබට ගැලවීමක් නෑ!   

නමුත් ඔබ ප්‍රඥාවන්ත වුවහොත්... මේ විවිධාකාරයෙන් දෙන පණිවිඩ හසු කර ගෙන ගැලවීමේ මාර්ගය විමසන්නට යොමු වුවහොත් ඔබට සැබෑ ම ගැලවීම, නිදහස, විමුක්තිය ලැබෙනවා නියතයි!

ලැබෙන විමුක්තිය... නිදහස ‌ද දෙආකාරයි!  

එකක් ලෞකිකයි... සුගතිගාමීයි... පැවැත්මට හේතු සහිතයි... පද්ධතිය සමඟින්ම බැඳී තිබෙනවා.  අනෙක ලෝකෝත්තරයි... නිර්වාණගාමී... නැවැත්මට ‌හේතු සහිතයි... පද්ධතියෙන් විමුක්ත වීම පිණිසයි!

ඉතින් ඔබට පද්ධතිය විසින් ම මවා පාන පද්ධතිය තුලම කොටු වූ හුදු ලෞකික වූත් සුගතිගාමී වූත් නිදහස යැයි රැවටෙන තවත් පැවැත්මක් අවශ්‍යද? එය සුවයෙන් සතුටෙන් සැනසීමෙන් පිරුණු දුකෙන් ඔබ්බට ගිය සුගතිගාමී නිදහසක්! 

නමුත් පෙර‌ නො ඇසූ විරූ තථාගත ධර්මය තුලින් ම පමණක් ලැබෙන ලෝකෝත්තර වූත් නැවැත්ම පිණිස වූත් නිවීම නම් වූ පද්ධතියට හසු නොවූ, පද්ධතියෙන් ම විමුක්ත වන සැබෑ ම විමුක්තිය ලැබීම පිණිස තථාගත ධර්මයට කන් යොමු කරන්නම වෙනවා!  ඉතින් මේ හැමදේම තුලින් ඔබට ලබා දෙන්නට උත්සාහ කරන පණිවිඩය ග්‍රහණය කර ගන්නට ඔබ දක්ෂ වූ මොහොතේ පටන් ගෙන මේ පද්ධතිය නම් වූ මර උඟුලෙන් නිදහස් වීමට ඔබට හැකි වෙනවා නියතයි!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා