ගීතයට හැඳින්වීමක්

  09 මැයි 2022

බුදු දහමේ පෙන්වා දෙන වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාට අප කෙරෙහි මොහොතකට හෝ අනුකම්පා හිතුනොත් ඔහුගේ කාර්යභාරය ගැන අපට දන්වා සිටින්නේ මේ විදියටයි කියලයි අපට හිතුනේ.  ඔබ  කතෝලික හෝ ක්‍රිස්තියානි භක්තිකයෙක් නම්, මෙය “ඔබ කොතරම් උත්සාහ කලත් ඵලක් වෙන්නේ නෑ ලෝක සත්වයා සිටින්නේ මට වසඟ වෙලා යැයි” ජේසු තුමන් හට පැවසූ සාතන් ගෙන් ලැබුණු කාරුණික පණිවිඩයක් හා සමානයි.  ඉතින් ආගම දහම කුමක් වුවත් තම තමන්ගේ වසඟයේ පවතිනවා යැයි විශ්වාස කර ගෙන දවස පුරා අසහනයෙන් පොරකමින් ගෙවන ඔබගේ ජීවිතයේ ඔබ තේරුම් ගන්නට උත්සාහ නො කරන යථාර්ථය මෙයයි.

ඉතාමත් අලංකාරවත් ලෙසින් මේ පැවැත්ම තුලට වසඟ වෙලා එයට ම සිර වී ඒ තුල ම ජයක් ලබන්නට උත්සාහ කරන අන්ධ වූ මිනිසුන් වෙත ඔවුන් හසු වී සිටින මර උගුල ගැන රැප් ආකාරයේ ගීතයක් ලෙසින් ඔබ වෙතට ලබා දෙන්නේ ටොම් මැක්ඩොනල්ඩ් නමින් පෙනී සිටින කලාකරුවායි.  2022, මැයි මස 06 වන දින ප්‍රසිද්ධියට පත් කල මෙම ගීතය ඔහු නම් කර තිබෙන්නේ “සිස්ටම් එක” එහෙමත් නැත්නම් “පද්ධතිය” කියන අර්ථයෙනුයි.

ප්‍රඥාවන්ත ව අසන්න... විමසන්න... අනතුර හඳුනා ගෙන තම තමන්ගේ ගැලවුම්කාරයන් වීම පිණිස කටයුතු කර ගන්නට උත්සාහ කරන්න!  

“ද සිස්ටම් / සිස්ටම් එක” ගීතයේ පද රචනය මෙසේ ඉදිරිපත් කරමි... මෙහි සැඟවුණු අරුත නුවණින් විමසා තම තමන් හසුව පැවැත්ම නම් වූ උගුල තේරුම් ගැනීමට උත්සාහවන්ත වෙත්වා!  ඉන් පසුව සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විසින් මතු කර පෙන්වා දුන්නා වූ පෙර නො ඇසූ විරූ දහම් අවබෝධ කර ගැනීම පිණිස අප්‍රමාදී වෙන්නට සිත් පහල වෙත්වා!  

(මෙය හුදෙක් ඉංග්‍රීසි වචන පද සිංහලයට පරිවර්තනය කිරීමක් හෝ ගීතයේ ලෞකික අර්ථයක් හුවා දැක්වීමක් නොවන බව ද සිහි තබා ගනිත්වා!)