තිරිසන් අපා දුක

තිරිසන් ජාතියේ උපනත් පව්කොට - අවසන් නොව බිය පවතී පිට පිට

මඳ සන්සුන් කමකුත් නැත හැම විට  - සලසන්නේ කෙලෙසද සිතු පිනකට

මේ කවියෙන් දෙන අදහස ඔබට වැටහුණා නම් තිරිසන් අපාය ගැන බොහෝම වටිනා වැදගත් අදහසක් ඒ තුලින් දෙනවා.  ඉතින් ඔබ තිරිසනුන් දන්නවද?  "අපෝ! තිරිසනුන් දන්නේ නැත්තේ කව්ද?" කියලා ඔබට සිතේවි!  ඔව් තිරිසනුන් කියලා කියන්නේ ලෝකයේ නොයෙක් සත්ව විශේෂ වලටයි.  බල්ලෝ, පූසෝ, හාවෝ, මුවෝ, සිංහයෝ, කොටියෝ, අලියෝ, මාලු, කුරුල්ලෝ, කූඹි, වලස්සු, වඳුරෝ, පනුවෝ, සර්පයෝ ආදී එකී නොකී සියලු සත්ව විශේෂ මේ කියන තිරිසන් ගොඩට තමයි අයත් වෙන්නේ.  

ඉතින් බොහෝ වෙලාවට කුඩා දරුවන් වශයෙන් නම් අපි කියනවා "මම ආසයි කුරුල්ලෙක් වෙන්න... එතකොට මට පියාඹන්න පුළුවන්... මම ආසයි සිංහයෙක් වෙන්න එතකොට හැමෝම මට බයවේවි" මේ වගේ නොයෙක් දෑ කුඩා අවදියේ අපි කියනවා.  හරි කැමතියි මේ වගේ සතෙක් වෙන්න.  ඉතින් ඇත්තටම සතෙක් වෙන එක එතරම් දරුණු දුකක් වෙන්නේ කොහොමද කියලා ඔබට එතරම් හැඟීමක් නැතිවෙන්නත් පුළුවන්.  කොතරම් නම් බල්ලෝ පූසෝ ඉන්නවද මිනිස්සුන්ටත් වැඩිය සැප විඳින කියලා කියන පිරිසත් අප අතර ඉන්නවනේ.  ඉතින් ඇත්තටම මේ තිරිසන් සතුන් විඳින්නේ සැපක්ද?  එහෙනම් ඇයි ඒ අයගේ මේ තිරිසන් ලෝකයට තිරිසන් අපාය කියලා කියන්නේ.  අපි ලස්සනයි සුන්දරයි කියලා දකින සත්ව ලෝකය කොතරම් දුරට දුක් ගෙන දෙන්න පුළුවන්ද? මේ හැම දෙයක්ම වටහාගෙන කටයුතු කලේ නැතිනම් මහා අමාරුවක වැටෙනවා නියතයි.