බුදු දහම ආගමක්ද?

  01 ජනවාරි 2012

බුදු දහම ආගමක්ද? Copyright Claims

මේ ලෝකේ ආගම් බොහෝමයක් තිබෙනවා.  විවිධාකාර අදහස් තිබෙන පුද්ගලයන් සිටින නිසාවෙන් ඒ ඒ අය මේ ආගම් දහම් පිළිබඳව දරන්නෙත් විවිධාකාර අදහස්.  කෙසේ හෝ මිනිසුන් මේ සියලු ආගම් තුලින් බලාපොරොත්තු වන්නේ තම තමන්ගේ විඩාබර දිවියට සුවයක්.  හැමදෙනාම සතුට සොයනවා.  පෙරදිග හෝ වේවා... බටහිර හෝ වේවා... ආබාධිත... අනාබාධිත... සියලු දෙනාම සොයන්නේ සතුට.  සැමවිටම සතුටෙන් ඉන්නට ඇත්නම් යහපතක්නේ නේද?  එහෙත් ආවාසනාවකට එසේ සැම මොහොතකම සතුටෙන් ඉන්නට අපහසුයි... 100% තෘප්තිමත් වෙන්නට අපහසුයි... ඒ නිසාම සතුට වෙනුවෙන් තෘප්තිය වෙනුවෙන් මානසිකව දැවෙන ස්වභාවයක් තමයි දැකගන්නට තිබෙන්නේ.  

මෙන්න මේ අතෘප්තිකර අදහස් වලින් මිදෙන්නට අවශ්‍ය කරන උපකාරය මිනිසුන් සොයන්නේ ආගමක් දහමක් තුලින්මයි.  තම තමන්ගේ විශ්වාසයන් ඇදහීම් ආදිය තුලින් දෙවියන් තුලින් තාවකාලිකව සතුටක් සැනසීමක් ලැබගන්නට බොහෝ පිරිසකට හැකි වෙලා තිබෙනවා.  ඒ වගේම තමයි දෙවියන් හෝ වේවා කිසිදු ආගමක් දහමක් පිළිබඳව විශ්වාසයක්  නැති පිරිසකුත් ඉන්නවා.  කමක් නෑ... ඒ විවිධත්වය ලෝකයේ පවතිනවා... සියලු දෙනාටම තම තමන්ගේ විශ්වාසයන් අනුව කටයුතු කරන්නට පූර්ණ අයිතියක් තිබෙනවා.  ඒ නිසාම මේ තුලින් අප බලාපොරොත්තු වන්නේ ලෝකයේ තවත් ජනප්‍රිය දර්ශනයක් වූ “බුදු දහම“ පිළිබඳව විවරණය කරගන්නටයි.  

ආගමක් ලෙසින් මේ වන විට ප්‍රකටව තිබෙන බුදු දහම ආගමක් නොවන බවට හඳුනාගැනීම ඉතාමත් වැදගත් වෙනවා.  ආගම්  භේදයක් නැතිවම ඕනෑම කෙනෙකුට තම තමන්ගේ යථාර්ථය අත්දැකගෙන යහපත් ජීවිතයක් ගත කිරීමෙනුත් ඔබ්බට ගොස් තෘප්තිකර ශාන්ත ප්‍රණීත සතුටක් සාමයක් ලබාදෙන ක්‍රමරටාවක් තමයි බුදු දහම කියන්නේ.  එක්තරා විදියකට බුදු දහම යනු මනෝ විද්‍යාව වගේ දෙයක්.  ඒ තුලින් මනස සුවපත් කරන්නට හැකියාවක් තියෙනවා.  අතෘප්තිකර හැඟීම්... අසහනය... පීඩනය... දුක... දෝමනස්ස... තරහා... සතුට... ආදරය... මේ ඕනෑම ආකාරයක හැඟීමකට හේතුව කුමක්ද... මානසික හෝ වේවා කායික හෝ වේවා මේ සියලු දෑහි මූලාරම්භය කුමක්ද යන්න දැනගන්නට බුදු දහම තුලින් අපට හැකිවෙනවා. 

බුදු දහම මේ වන විට ඉතාමත් සීඝ්‍රයෙන් ආගමක් බවට පත්වීගෙන එනවා.  වත් පිළිවෙත් සම්ප්‍රදායික ක්‍රියාරටාවන් ඉතාමත් සීඝ්‍රයෙන් ප්‍රකට වන අතර ඒ තුලින් බුදු දහමේ හරය මේ වන විට සැඟවීගෙන යනවා.  තම තමන්ගේ ගැටලු වලට තම තමන් විසින් කරගත යුත්ත පසෙකලා එය අපට වඩා උසස් තත්වයක සිටින විශේෂ කෙනෙකුට භාරදීම බොහෝ විට ආගමක් ප්‍රකට වන්නට හේතු වෙනවා.  තවත් ආකාරයකට කියනවා නම් තමන්ගේ වගකීම පැහැර හැර බාහිරයට දොස් නැඟිය හැකි තත්වයකට වක්‍රාකාරව යොමුවීමක්.  උදාහරණයකට විහින් කරන දේවල් නිසාවෙන් අයහපත් ප්‍රතිඵල නැගෙන විට දේවත්වයකට හෝ වෙනත් උසස් නොපෙනෙන අද්භූත බලවේගයන්ට දොස් නැඟීමට පුරුදු වී සිටිනවා.  

ආගමක් ලෙසින් සකසා ගත් ක්‍රමයක් තුලින් බලාපොරොත්තු වන්නේත් තම තමන්ගේ ගැටලු අනුනට භාරදීමමයි.  මෙය ඉතාමත් ලෙහෙසි ක්‍රමයක්.  බුදු දහම තුලත් මේ ක්‍රමවේදය නැඟෙමින් පවතිනවා.  එහෙත් සෑම ආගමක් තුලම ඇති හරය හඳුනාගන්නට මෙවන් සිත් අපොහොසත් වෙනවා.  ඒ නිසා බුදු දහම ආගමක්  නොවන බව හඳුනාගැනීම තුල අන් ආගම් දහම් තුලිනුත් උසස් ප්‍රතිඵල ලබාගැනීමට බුද්ධිමත් ඔබට හැකිවේවි!

මෙවැනි සඳහම් ඇසුර වැඩියෙන් ලබනට පිවිසෙන්න;