පිළිකා රෝහල් විහාරස්ථානය
02 පෙබරවාරි 2016
යමෙකුට අවශ්‍ය අවස්ථාවේදී ඒ දේ ලබාදීමට හැකි නම් එය වඩාත් අගය කල යුතු දෙපාර්ශවයටම තුටු විය හැකි දෙයකි.
පිළිකා රෝහල අසල ඇති පිළිකා රෝහල් විහාරස්ථානය යනු තවත් නිහඬ සේවයක් කරන අපූරු පුදබිමකි. දුර බැහැර සිට සායන පිණිස පැමිණෙන පිළිකා රෝගීන් සහ පිළිකා රෝගීන් බැලීමට පැමිණෙන නිවැසියන් උදෙසා නවාතැන් පහසුකම් මෙන්ම ආහාර පානයෙන්ද සංග්‍රහ කරන බෙහෙත් ලබාගැනීමට මුදලින් සහ ද්‍රව්‍යමය වශයෙන්ද උපකාර කෙරෙන මෙම පුණ්‍ය භූමිය ඉතාමත් නිහඬවම තමන්ගේ සේවය කරගෙන යයි.
පිළිකා රෝගයෙන් මියගිය නන්දාවතී බෝපමගමගේ සහ බුද්ධදාස අධිකාරි යන මාගේ සීයා සහ ආච්චී යන දෙපලටත් අනන්ත සසරේ පටන්ගෙන සහ සම්බන්ධ වූ සතර වරිගයක ඥාති හිතමිත්‍රාදීන්ට පින් පිණිසත් පිළිකා රෝගයෙන් අපහසුතාවයට පත්ව ඇති සියලු සතුන්ට සෙත් පිණිසත් කිහිප අවස්ථාවකදීම මෙම ස්ථානයට ගොස් අවශ්‍ය කරන දානමානයන් මෙන්ම මුදල් ආධාරද ලබාදීමෙන් සුළු වශයෙන් හෝ මේ මහඟු සත්කාරයට දායක වන්නට අපට හැකිවිය.
අවස්ථාව ලැබෙන හැම විටකදීම මෙම ස්තානය හරහා පිළිකා රෝගීන් වෙනුවෙන් අතහිත දීමට අප කටයුතු කරන අතර ඔබටද එවැනි සත්කටයුතු වෙනුවෙන් උරදීමට මෙසේ අවස්ථාව උදා කරදෙමි.
ඔබට දායක විය හැකි ආකාරයන්:
- නායක හිමියන්ගේ උපදෙස් පරිදි ප්‍රධාන ආහාර වේල් සඳහා අවශ්‍ය කරන ආහාර පානාදිය සපයා දීමට ඔබට හැකියාවක් ඇත. ආහාර වේල සඳහා අවශ්‍ය වියළි ද්‍රව්‍ය නාම ලේඛණය මෙසේයි;
හාල් (සම්බා) කිලෝ 10 | පරිප්පු කිලෝ 02 හෝ මුං ඇට කිලෝ 02 | අල කිලෝ 05 හෝ මඤ්ඤොක්කා කිලෝ 06 | බටු කිලෝ 05 | මාළු මිරිස් කිලෝ 02 | ගොටු කොළ මිටි 06 | ලීක්ස් කිලෝ 06 | වැටකොළු කිලෝ 05 | බෝංචි හෝ මෑ කරල් කිලෝ 05 | පොල් තෙල් (බෝතල්) ½ | වියළි මිරිස් ග්‍රෑම් 250 | කෑළි මිරිස් ග්‍රෑම් 200 | කහ / ගම්මිරිස් ග්‍රෑම් 100 | අමු මිරිස් ග්‍රෑම් 250 | රතු ළූණු ග්‍රෑම් 500 | බී ළූණු කිලෝ 1 | සුදු ළූණු ග්‍රෑම් 200 | බැදපු තුනපහ ග්‍රෑම් 200 | පොල් ගෙඩි 12 | රම්පෙ / කරපිංචා මිටි 02 | අබ ග්‍රෑම් 50 | කුරුඳු ග්‍රෑම් 50 | ලුණු පැකට් 01
සැළකිය යුතුයි; ඔබ කැමති නම් පමණක් කරවල / උම්බලකඩ ලබා දිය හැක. කරවල කිලෝ 3ක් පමණ | කෙසෙල් ගෙඩි 60ක් පමණ හෝ යෝගට් / අයිස්ක්‍රීම් කැමති වර්ගයකින් 60ක් පමණ | කෝකියාගේ ගාස්තුව හා ගෑස් ගාස්තු රු 750 | මෙයට අමතරව ඔබට හැකි ඕනැම එළවළු / පලා වර්ගයක් ලබා දිය හැකිය.
- ප්‍රාථමික මට්ටමේ මූලික බෙහෙත් ද්‍රව්‍ය සපයා දෙන්නට ඔබට හැකියාවක් ඇත.
- තේපානයන් සඳහා අවශ්‍ය කරන තේ, සීනි, කිරිපිටි, බිස්කට් ආදිය සපයා දීමටද හැකියාවක් තිබේ.
- පිළිකාරෝගයෙන් පෙළෙන සමහර දරුවන්ගේ වේදනාවන් පහ කරගැනීම පිණිස භාවිතා කරන බේබි කොලෝන්ග් වර්ග, ලදරුවන්ට භාවිතා කරන තෙල් වර්ග ආදියද ලබාදීමටද හැකියි.
- එදිනෙදා වියදම් පියවාගැනීම පිණිස එතැනට පැමිණෙන රෝගීන්ට සහ විහාරස්ථානයට මුදල්මය පරිත්‍යාගයන් කරන්නටද ඔබට අවස්ථාව තිබේ.