නෙළුම් විල

  24 අප්‍රේල් 2022

මුලින් ම ත්‍රිපිටක සත්ධර්මය තුල ඇති දහම් කොටසකට සම්බන්ධ අටුවා කතාවකින් අපේ විග්‍රහය ආරම්භ කරමු.  ඉතාමත් කෙටියෙන් ඒ කතාව පවසනවා නම් මෙසේයි;

මේ සිද්ධිය සිදු වන්නේ අප මහ බෝසතාණන් වහන්සේ සෘෂිවරයෙක් ලෙසින් තපස් ජීවිතයක් ගත කරන අවස්ථාවකයි.

මේ තාපස තුමා හිටියේ නෙළුම් විලක් ලඟ.  ඉතින් එක දවසක් විලට බැස්ස වෙලාවක, ඒ විලේ තමන් අසල ම පිපී තිබූ නෙළුම් මලක සුවඳ පොඩ්ඩක් බැලුවා.

මේක දැකලා එක්තරා දේවතාවියක් මෙන්න මෙහෙම කිව්ව;

“තාපස තුමනි, විලේ පිපී තිබෙන, ඔබට නො දුන් ඒ නෙළුම් මලේ සුවඳ ආඝ්‍රාණය කලා නේද?  එය සොරකමට අයත් අංගයකි.  ඔබ සුවඳ සොරෙකි”

ඉතින් තාපස තුමා මෙන්න මෙහෙම ඇහුවා;

“නෙළුම සොරකම් කලෙත් නෑ... කැඩුවෙත් නෑ... දුර තියා සුවඳ බැලුවා විතරයි නේ.  ඉතින් “සුවඳ සොරා” කියන්නේ මොන හේතුවකට ද?”

මේ දෙදෙනාගේ මේ සංවාදය යන අතරේ එක්තරා මනුස්සයෙක් ඒ විලට ඇවිත් නෙළුම් මල් කඩන්න පටන් ගත්තා... නෙළුම් අලත් හාරන්න පටන් ගත්තා...

ඔන්න ඉතින් තාපස තුමා ඒ මනුස්සයා පෙන්නලා දේවතාවියට මෙන්න මෙහෙම කිව්ව;

“නෙළුම් මල කඩන්නෙ වත් නැතිව සුවඳ පොඩ්ඩක් බැලුව මට “සුවඳ හොරා... සුවඳ හොරා... කියලා දොස් කියන ඔබ, අන්න අර මනුස්සයා නෙළුම් මල් කඩා ගෙන... අලත් හාර ගෙන යන විට මොනවත් කියන්නේ නෑ... ඒ මනුස්සයාටත් දොස් කියන්න පුළුවන්‌ නේ... මට විතරක් දොස් කියන්නේ ඇයි?”

එවිට දේවතාවිය මෙන්න මෙහෙම කියනවා;

“දරුවන් බලා ගන්න කිරි මවක ගේ ඇඳුම් නිතරම ඒ දරුවාගේ කෙල, සොටු, මුත්‍රා, අසූචි ආදිය තැවරිලා කිලිටි වෙලාමයි තියෙන්නේ.  අන්න ඒ වගේ කිලිටි වෙලා ම ඇති සිත් ඇති රළු අදහස් ඇති නපුරු මිනිස්සුන්ට කියන්න වචන මගේ ලඟ නෑ.  නමුත් ඔබ වැනි තපස් දම් අගයන කෙනෙකුට මේ දේ කියා දීම සුදුසු නිසයි කිව්වේ.  නිතර නිවැරදි දේ ම සොයන, නිර්දෝෂ වූ පුද්ගලයකුට, කෙස් අගක් පමණ වූ පාපයක් වුවත්, මහා මේඝයක් වගේ තමයි දැනෙන්නේ”

අන්න ඒ නිසා තමයි කිව්වේ, කියලා කිව්ව. 

ඉතින් මේ වදන් ඇසූ තාපස තුමා, තමන්ට වූ ලාභය ගැන සතුටු වෙලා මෙන්න මෙහෙම කියනවා;

“දේවතාවිය, ඒකාන්තයෙන් ම ඔබ මාව නිවැරදිව හඳුනා ගත්තා. ඒකාන්තයෙන් ම ඔබ මාව නිවැරදිව හඳුනා ගත්තා... මේ වගේ වරදක් දුටු තැන මට පෙන්වා දෙන්න!”

එසේ පැවසූ තාපස තුමාට, දේවතාවිය මෙසේ පවසනවා;

“තාපස තුමනි, මම ඔබ නිසා ජීවත් වන කෙනෙක් නොවේ.  ඔබේ බැල මෙහෙවර කරන කෙනෙක් ද නෙවේ.  යමක් නිසා සුගතියට යන්නේ නම් ඔබ ම එය තේරුම් ගන්න”