සාරය නුවණින් දකින්න

  24 අප්‍රේල් 2022

“මලක් නටුවෙන් කඩන්නෙවත් නැතිව දුර තබා සුවඳ බැලූ කල සුවඳ හොරෙක් වෙනවා නම් අන් දේ ගැන කවර කතා ද?”

ලෝකයෙන් එතෙර වන දහම් අහන්නේ නැති නිසා, ඒ පෙර නො ඇසූ විරූ ඇත්ත ගැන දන්නේ නැති නිසා, තමන්ට අයත් නැති විලත් අයිති කර ගෙන... මලත් අයිති කර ගෙන... අලත් අයිති කර ගෙන... කොළත් අයිති කර ගෙන... නටුත් අයිති කර ගෙන... ගහ මරා ගෙන විලේ ම ගෙම්බෝ මාළුවෝ සර්පයෝ මැසි මදුරුවෝ වෙලා ඉපදෙන්නටත් සිද්ධ වෙනවා.  විවිධ ආකාරයෙන් තමන්ට දුන්නේ නැති දේවල් වලින් යැපෙමින් සිදු කල සොරකම් වලට වන්දි ගෙවන්නට සිද්ධ වෙනවා.  ඉතින් ලෝක සම්මතයේ සොරකම්, මැරකම්, දූෂණ, වංචා ආදී අයහපත් යැයි පවසන සියල්ලේ සාධාරණ අසාධාරණ බව ගැන කවර කතා දැයි නුවණක් ඇත්තෝ අවංකව ම ගැඹුරින් විමසා තම තමන්ව නිදහස් කර ගන්නවා!

අරමුණක් ලැබෙන විට ඇත්ත නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා පුණ්‍යාභිසංඛාර, අපුණ්‍යාභිසංඛාර, අනේඤාභිසංඛාර, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර ආදී ලෙසින් සංකාර සකස් වෙනවා.  මේ පැවැත්මේ සැබෑ ම දුක කුමක් දැයි යන්න ගැන ඇති අනවබෝධය මේ සියලු සංස්කාරකයන්ට මුල් වෙනවා. දුක ගැන නොදන්න විට දුකට හේතුව ගැන හෝ දුක නැති කිරීමක් ගැන අවබෝධයෙක් කොහෙත්ම නෑනේ නේද? ඒ නිසා පැවැත්ම කියන්නේ ම විටක යමකට හොඳයි... විටක යමකට නරකයි... විටක යමකට උපේක්ෂා සහගතයි ලෙසින් කියන, කරන, සිතන සංඛාර වැඩපිළිවෙල ම තමයි. 

පුණ්‍ය වුවත්... අපුණ්‍ය වුවත්... ඒ දෙකට ම නැති නමුත් ඒ දෙක ඉක්මවා නැති, ඒ තුල ම බැස ගෙන ඇති ආනේඤාභි වුවත්... කාය වුවත්... වචී වුවත්... චිත්ත වුවත්... සංඛාර නම් සියල්ල සංඛාර ම තමයි.

“සබ්බේ සංඛාරා අනිච්චා ති... සබ්බේ සංඛාර දුක්ඛා ති...” සංඛාර යැයි යමක් වේ ද සියල්ලෙන් සියල්ල අනිච්චයි... දුක්ඛයි... අහලා තියෙනවා නේද ඒ බුදු වදන?  ඉතින් ඒ සංඛාර මත බැස ගෙන විද්‍යාමාන වන ඵල සියල්ල හෙවත් සියලු ධර්මයන්, “සබ්බේ ධම්මා අනත්තා ති”... අනාථයි... අසාරයි... අනත්තයි!

කෙටියෙන් ම කියනවා නම් ඔබ බැස ගෙන ඉන්න විල ම අවුල්!

මඩ ගොහුරක්... හරයක් නැති අසූචි වලක්... මර උඟුලක්...  එහි ඇති මල්... අල... කොල... නටු ගැන කවර කතා ද?

දවස පුරාවට පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින වැඩපිළිවෙළ තුල ඔබත් සුවඳ හොරෙක් වෙනවා නේද? අහන්නත් දෙයක් ද නේද?

 විමසන්න! නුවණින් විමසන්න!

පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින වැඩපිළිවෙළ තුල ඇලීමෙන්, ගැටීමෙන් ප්‍රතිචාර දක්වන වාරයක් පාසා... ඔබගේ වැඩපිළිවෙළ තුල ඇති සොරකම්, මැරකම්, දූෂණය, මත් බව කොතරම් දැයි විමසන්න! 

පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින මොහොතේ සතිය මොට්ට නම්... ඒ මොට්ට වූ සතියෙන් අරමුණක් ඇසුරු කරන විට දස අකුසලය තුලට ම බැස ගෙන අවසන් බව තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ සුවඳ හොරකම් දැක ගන්නටයි.