ඔබ කොයි පාර්ශවයේ ද?

  24 අප්‍රේල් 2022

ඔබ වටහා ගත යුතු ප්‍රධාන කාරණය නම් මෙතැන පාර්ශව දෙකක් ඉන්නවා. 

එක් පාර්ශවයක් මල් කඩා ගෙන, අලත් හාර ගෙන බාහිරයෙන් ම යැපෙන පැවැත්ම තුල සාධාරණය අසාධාරණය දකිමින් කටයුතු කර ගෙන යන ලෞකික වැඩපිළිවෙළට බැස ගත් පිරිස. ඒ සිත් කිරි මවගේ කිලිටි වස්ත්‍රය වගේ. 

ඒ අය මල් අල කොල නටු වෙනුවෙන් ඕනෑම දෙයක් කියන්නට, කරන්නට, සිතන්නට සූදානම්.  මන්ද ඒ අය ඒ දේවල් වලින් ම යැපෙන... ඒ දේවල් තුල ලාභයක් දකින පිරිසක්.  ඒ නිසා ඒ මල්, අල වෙනුවෙන් ඒ අය සටන් කල යුතුයි.  මහා පොරයට බැස ගත යුතුයි. 

අනෙක් පාර්ශවය තමයි, ඒ කිලිටි බව නැති කර ගන්නට වුවමනාවක් ඇති පිරිස. ඒ කිලිටි වස්ත්‍රය ගලවා දමන්නට කැප වන පිරිස.  මල්, අල වෙනුවෙන් පොර කෑම ඵලක් නෑ කියලා යම් දුරකට වටහා ගත්ත පිරිස.  ඒ නෙළුම් විලෙන්... ඒ ලෝකයෙන් එතෙර වෙන ලෝකෝත්තර වැඩපිළිවෙලට බැස ගත් පිරිස. 

අමතක කරන්න එපා පාර්ශව දෙකම ඉන්නේ එකම නෙළුම් විලේ.

මේ පාර්ශව දෙකටම බණ දහම් වර්ග තිබෙනවා.  ලෞකික වැඩපිළිවෙල තුල සාධාරණ අසාධරණකම් දකිමින් යහපත් සමාජයක් උදා කර ගන්න ලෞකික සුගතිගාමී වැඩපිළිවෙළක් සහිත බණ දහම් තිබෙනවා.  ඒ අර නෙළුම් මල් කඩා ගෙන, අලත් හාර ගෙන යන පිරිසටයි.  අනෙක් අයටත් තියලා නෙළුම් මල් කඩා ගන්න විදිය... හාර ගත්ත අල අනෙක් අයත් එක්ක බෙදා ගෙන සාධාරණව ජීවත් වන විදිය... ඒ බණ දහම් වලට අයිතියි.

නමුත් අති දුලභව පහල වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් සාධාරණව අල හාර ගන්න විදියයි... මල් කඩන විදියයි නෙවේ කියන්නේ.  උන්වහන්සේගේ අවවාදය සහ උන්වහන්සේ අග්‍ර කරමින් අගය කලේ ලෝකයෙන් එතෙර වීම පිණිස වූ දහමයි.  කඩා ගත්තෙවත් නැති මලක සුවඳ පවා ආඝ්‍රාණය කිරීම හොරකමක් වෙන්නේ කොහොමද... එය ඒ නෙළුම් විලෙන් එතෙර වීමට බාධාවක් වෙන්නේ කොහොමද කියන දේ ගැනයි සම්මා සම්බුදු රඳුන් කෙනෙක් සැම විටම මුල් තැන දී විග්‍රහ කර දෙන්නේ.  නිවන පිණිස ම වූ “නිර්වාණ ධර්මය” කියන්නේ එයට යි.