පටලවා ගැනීම

  11 දෙසැම්බර් 2022

Article summary

සත්ධර්මය විමසන පිරිස අතර බොහෝ වෙලාවට මෙවැනි විද්‍යාත්මක පැහැදිලි කිරීම් බුදු දහම සේ පටලවා ගන්නා පිරිස අපට හමු වෙනවා. එයට හේතුව තමයි, ගැඹුරු වූ දුර්ලභ වූ පෙර නො ඇසූ විරූ බුදු දහමේ ඉගැන්වීම බැලූ බැල්මට මෙවැනි පැහැදිලි කිරීම් හා සමාන බව දැනීම.

එකම වචන, උදාහරණ, උපමා... මේ සියල්ලම බැලූ බැල්මට මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් වලට සමාන බව හැඟෙනවා.  ඉතින්, බුදු දහමේ හරය සොයන... විමුක්තිය සොයන බොහෝ පිරිස මෙවැනි විද්‍යාත්මක සොයා ගැනීම් සහ පැහැදිලි කිරීම් කෙරෙහි උනන්දුවක් දක්වනවා සේම ඒවා ගැඹුරු බුදු දහම සේ පටලවා ද ගන්නවා.

බෞද්ධ යැයි ලේබල් නොවූ විද්‍යාඥයින් රැසක් එකතු වෙලා මෙවැනි පැහැදිලි කිරීම් කරන නිසා එය බුදු දහම නොවේ යැයි කියලා කියනවා නම් නෙවේ හොඳේ.  ඒ වරදවා වටහා ගැනීම නො ගත යුතුයි.  බොහෝ වෙලාවට ඉතින් විද්‍යාව නිසා හෝ විද්‍යාඥයින් පවසන නිසා හෝ “ඕවා බුදු දහම නෙවේ” කියලා පදනමක් නැතිව කියන පිරිසකුත් සිටින නිසා තමයි මම එහෙම කිව්වේ.

නැණවත් ශ්‍රාවකයා සැම විට ම නැණවත් ව විවෘතව විමසීමක් කරනවා.  අන්න ඒ නිසා මේ දේවල් බුදු දහම නොවන්නේ කෙසේ ද යන්න අප ඉතාමත් කෙටියෙන් විග්‍රහ කර ගන්නට උත්සාහ කරමු!

බුදු දහමේ ගැඹුර සහ සුවිශේෂීත්වය හඳුනා ගන්නටත්, අති දුලභව පහල වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් විසින් මතු කරන ආර්ය සත්‍ය කොතරම් ගැඹුරු ද යන්න අනුමාන හෝ වටහා ගැනීමකට පත් වීම පිණිස ඔබට උපකාර කර ගත හැකි, අප විසින් නිරන්තරයෙන් භාවිතා කරන ක්‍රම වේදයක් මම මෙතැන දී යොදා ගන්නම්.

මම සාමාන්‍යයෙන් “සත්‍ය” හෙවත් “ඇත්ත” වර්ග 3කට බෙදා විස්තර කරනවා.  ඒ පැහැදිලි කර ගැනීමේ පහසුව පිණිස පමණයි හොඳේ.  නැත්නම් ඇත්ත ගොඩක් තියෙන්නේ කොහොමද කියලා තර්ක වාද කරන්නට හිතෙන්නට පුළුවන්.  ඇත්ත තියෙන්නේ එකයි.  ඒ ඇත්ත ගැන තමයි බුදු දහමේ විග්‍රහ වන්නේ.  ඒ ඇත්ත අවබෝධ වන තෙක් ලෝක සත්වයාට ඇත්ත වර්ග ගොඩක් තිබෙනවා.  අන්න ඒ දේවල් ගැන තමයි මේ කෙටියෙන් පෙන්වා දෙන්නට හදන්නේ.  ඒ නිසා නැණවත් ව විමසන්න!