අපට ප්‍රකට සත්‍ය

  11 දෙසැම්බර් 2022

Article summary

පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින වැඩපිළිවෙළ තුල අප විශ්වාස කරන, අප පිළිගන්නා... අපට පහසුවෙන් හසු කර ගන්නට හැකි “සත්‍ය” ලෙසින්... “ඇත්ත” ලෙසින් අප විශ්වාස කරන මට්ටමක් තිබෙනවා. ඒ මට්ටම තමයි පළමු සහ දෙවැනුව සඳහන් කල සත්‍ය වර්ග දෙකක් තුලින් හඳුන්වා දෙන්නේ.

ඒවා මෙසේයි; 

මුලින් ම “සාපේක්ෂ සත්‍ය හෙවත් සාමාන්‍ය සම්මත ඇත්ත”

ඒ කියන්නේ අප සාමාන්‍යයෙන් ඇහැට පේන, කණට ඇහෙන, නාසයට - දිවට - කයට දැනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔස්සේ විශ්වාස කරන සහ සිතට හැඟෙන “ඇත්ත”.

මේ තමයි අප පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින වැඩපිළිවෙළ අනුව සම්මත කර ගන්නා සාමාන්‍යයෙන් ඇත්ත වශයෙන් පිළිගන්නා, විශ්වාස කරන ඇත්ත. ඉතින්, බහුතරයක් පිරිස පරම සත්‍ය ලෙසින් පවා විශ්වාස කරන්නේ ද මේ කියන “සාපේක්ෂ සත්‍ය හෙවත් සාමාන්‍ය සම්මත ඇත්ත” පමණයි.  ඒ අයට එතැනින් එහාට විමසන්නට අවශ්‍ය බවවත් සිතෙන්නේ නෑ.  එතරම් ම පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින වැඩපිළිවෙළට වශී වෙලා... එයම තමයි සත්‍ය අන් කවරක් වත් නොවේ කියලා දැඩි තීරණයක් අර ගෙන ඉන්නේ.

දෙවැනුව අපගේ වර්ගීකරණයට අනුව “නිරපේක්ෂ සත්‍ය හෙවත් පරමාර්ථ සත්‍ය”

ඒ කියන්නේ සාමාන්‍ය ඇස, කණ, දිව, නාසය, කය සහ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච ඉන්ද්‍රිය ගෝචර වූත්, පෙනෙන ඇහෙන දැනෙන විඳින සීමාව තුලින් ලබන සාමාන්‍ය සාපේක්ෂ සම්මත ඇත්ත ලෙසින් පිළිගත් සම්මත ඇත්ත ඉක්මවා ගිය අවබෝධයක් ලබන, ඒවා ගැන සොයා ගැනීමක් කරන පිරිස ඇත්ත වශයෙන් පිළිගන්නා, භාර ගන්නා, විශ්වාස කරන ඇත්ත.

මේ දෙවැනි වර්ගීකරණයට මා විසින් සාමාන්‍යයෙන් ගොනු කරන්නේ ආධ්‍යාත්මික පර්යේෂණයක යෙදෙන, දැහැන් භාවනා කරමින් මන හෙවත් සිත මූලික කර ගත් අත්දැකීම් ලබන, මෙම ලිපියේ මුලින් ම සඳහන් කල ආකාරයේ වීඩියෝවේ මෙන් විද්‍යාත්මක පර්යේෂණ තුලින් පංච ඉන්ද්‍රියයන් ගේ ක්‍රියාවලිය ගැන “සාමාන්‍ය සාපේක්ෂ ඇත්ත” ඉක්මවා ගිය විග්‍රහයන් සිදු කරන ඒ අනුව ලෝකය දකින ආධ්‍යාත්මයට බර වූ දාර්ශනික අදහස් ඇති පිරිස විසින් දරන ඇත්ත යි.