සියුම් වෙනස

  11 දෙසැම්බර් 2022

Article summary

නමුත්, මේ “නිරපේක්ෂ සත්‍ය හෙවත් පරමාර්ථ සත්‍ය” සහ “ආර්ය සත්‍ය හෙවත් පෙර නො ඇසූ විරූ පරම සත්‍ය” අතර ඇත්තේ ඉතාමත් සියුම්... ඉතාමත් ගැඹුරු වූ වෙනසක්. ඒ වෙනස හසු කර ගන්නට දක්ෂ වෙන පිරිස අති දුලභයි!

සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක්, සම්මා සම්බුදු වදන හෙවත් තථාගත ශ්‍රී සත්ධර්මය, සම්මා සම්බුදු වදන අවබෝධ කරන ආර්ය ශ්‍රාවක පිරිස, සම්මා සම්බුදු සසුන ආදිය පරම දුර්ලභ ලෙසින් දක්වන්නේ ඒ නිසා තමයි.

ඉතාමත් කෙටියෙන් කියනවා නම්;

“සාපේක්ෂ සත්‍ය හෙවත් සාමාන්‍ය ඇත්ත” “නිරපේක්ෂ සත්‍ය හෙවත් පරමාර්ථ සත්‍ය” යන සත්‍ය දෙකම ඇස, කණ, දිව, නාසය, කය සහ මන කියන ඉන්ද්‍රියයන් 6 මත පදනම් ව අවබෝධ කරන, පෙනෙන - ඇහෙන - දැනෙන - විඳින දේ මත පදනම් ව ඇත්ත යැයි විශ්වාස කරන “සත්‍ය” වර්ග දෙකක්.

ඒ මට්ටම් දෙක ඇත්ත ලෙසින් තීන්දු කර ගන්නට... තීරණය කර ගන්නට අපට ලොකු වෙහෙසක් දරන්නට අවශ්‍ය නෑ.  සරලව ම පැවැත්ම රඳා පවතින්නේ ම මේ කියන මට්ටම් දෙක “ඇත්ත” ලෙසින් භාර ගන්නා නිසාමයි. 

කල්ප කාලයකට වතාවක් අති දුලභව තුන් ලෝකයට ම පහල වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් විසින් මේ “ඇත්ත” යැයි වරදවා වටහා ගත් බොරු වර්ග දෙකක් අතර අතරමං වූ ලෝක සත්වයාට, ඒ වැරදි වැටහීම ඇති වන ආකාරය සහ බොරුවක් ඇත්තක් වශයෙන් සකස් වී ලැබෙන්නේ කෙසේ ද යන ක්‍රම වේදය ද පෙන්වා, ඒ සැකැස්ම සකස් වන ආකාරය පෙන්වා දෙනවා. 

එය සරලවම ඇස, කණ, දිව, නාසය, කය සහ මන කියන ඉන්ද්‍රියයන් 6 තුලින් හසු කර ගන්නට හෝ අවබෝධ කර ගන්නට හැකි කාරණයක් නෙවේ.  මෙන්න මෙතැන දී බොහෝ දෙනෙක් අවුල් වෙනවා.  ඒ ඉන්ද්‍රිය 6 නැතිව කොහොමද අවබෝධ කරන්නේ?  ඒ මොන විකාරයක් ද කියලා වුනත් හිතෙන්න පුළුවන්.

ඒ පෙර නො ඇසූ විරූ දහම් කියන්නා වූ “ආර්ය සත්‍ය හෙවත් පෙර නො ඇසූ විරූ පරම සත්‍ය” අවබෝධය එතරම් දුර්ලභයි.  නමුත් අවංකව ම විමසන්නාට එය ලඟා විය නො හැකි දෙයක් නොවේ.  ඒ නිසා බිය වෙලා අවුල් වෙලා විකාර වෙන්න නෙවේ මේ කියන්නේ.  නැණවත් ව තමන්ගේ විමසීම කොතරම් ගැඹුරට සිදු විය යුතු දැයි අවබෝධ කර ගැනීම පිණිස තමයි මෙසේ විග්‍රහ කරලා දෙන්නේ.