සැබෑ ම සත්‍ය

  11 දෙසැම්බර් 2022

Article summary

දැන් එතකොට පැහැදිලියි නේ ඇයි එහෙනම් මේ දෙකකට බෙදලා නැවතුණේ නැත්තේ කියලා. දෙකකට විතරක් බෙදුවා ම වෙන්නේ මේ “නිරපේක්ෂ සත්‍ය හෙවත් පරමාර්ථ සත්‍ය” කියන මට්ටම, සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් පෙන්වා දෙන ආර්ය සත්‍ය කියලා පටලවා ගන්නවා.

බොරුවක් ම නැවත සත්‍ය ලෙසින් වරදවා වටහා ගන්නා දෘෂ්ඨි සහිත “නිරපේක්ෂ සත්‍ය හෙවත් පරමාර්ථ සත්‍ය” කොටසට ඇතුළත් කල හැකි ධ්‍යාන භාවනා ක්‍රම වේද, විද්‍යාත්මක පර්යේෂණ තුලින් කියැවෙන මායා සහගත බව, උපනිෂද් ආදී වේද ග්‍රන්ථ තුල ඉගැන්වෙන හින්දු ආධ්‍යාත්මික ඉගැන්වීම්, අනෙකුත් ආගම් දහම් තුල කියැවෙන ආධ්‍යාත්මික දර්ශනවාද ඇතුළු ඉගැන්වීම් ආදී මේ සියල්ලම පරම සත්‍ය හෙවත් ආර්ය සත්‍ය සහිත බුදු දහම සේ පටලවා ගන්නවා. 

ඉන් පසුව “බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නෙත් ඔය අනෙකුත් දර්ශන වාද තුල හෝ විද්‍යාව තුල උගන්වන දේම තමයි” කියලා සංසන්දනය කරමින් තර්ක වාද ගොඩ නඟනවා.  බුදු හිමියනුත් තවත් එක් දර්ශනවාදියෙක් හෝ විද්‍යාඥයෙක් කරලා නවතිනවා.

මේ වන විට ප්‍රතිරූපක බහුල වී බුදු දහම ලෙසින් මේ කියන “නිරපේක්ෂ සත්‍ය හෙවත් පරමාර්ථ සත්‍ය” සහිත ඉගැන්වීම් බහුල බව දැක ගන්නට තිබෙනවා.

ඉතින් ඒ නිසා තමයි සැබෑ ශ්‍රාවකයෙක් ලෙසින් ඔබගේ ගවේෂණය සකස් කර ගැනීමේ පහසුව පිණිස මෙසේ සත්‍ය වර්ග 3ක් ලෙසින් දක්වා තුන් වැනි වර්ගීකරණයට “ආර්ය සත්‍ය හෙවත් පෙර නො ඇසූ විරූ පරම සත්‍ය” ලෙසින් අති දුලභ සම්මා සම්බුදු රඳුන්ට පමණක් විවර කල හැකි ලොව එකම සත්‍ය දක්වා විග්‍රහ කර දෙන්නට උත්සාහ කරන්නේ.

“සාපේක්ෂ සත්‍ය හෙවත් සාමාන්‍ය ඇත්ත” පරම සත්‍ය ලෙසින් විශ්වාස කර ගෙන ඉන්න පුද්ගලයාට, ඒ පුද්ගලයා නැණවත් කෙනෙක් නම් “නිරපේක්ෂ සත්‍ය හෙවත් පරමාර්ථ සත්‍ය” තුලින් කියැවෙන දේ ඇසුනු විට තමන් ඉන්නේ ඉතාමත් පටු මානසිකත්වයක කියලා හඳුනා ගන්නට ඒ අසා ගන්නා ඇත්ත ඒ පුද්ගලයාට වැදගත් වෙනවා.

උදාහරණයකට මේ ලිපිය තුල වූ වීඩියෝව විමසන ඔබට ඔබ මෙතෙක් කාලයක් ඇස, කණ, දිව, නාසය, කය වැඩ කරන ක්‍රමය කියලා හිතා ගෙන හිටිය ක්‍රම වේදයත්, එය තමයි එකම ඇත්ත, පරම ඇත්ත කියලා විශ්වාස කර ගෙන හිටිය මානසිකත්වයත්, යම් දුරකට හෙල්ලීමක් කරන්නට ප්‍රමාණවත්.

නමුත් ඔබ නැණවත් නම් පමණයි!

“සාපේක්ෂ සත්‍ය හෙවත් සාමාන්‍ය ඇත්ත” වන පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින සීමාවෙන් සතුටු වෙලා ඉන්න කෙනෙකුට එය වැදගත් නෑ.  බොරුවක් වුණත් ඇත්තක් වුනත් ඒ මට්ටමෙන් ජීවිතය විඳින්නට කැමති පුද්ගලයා ඒ කටයුත්ත කර ගෙන යනවා.  ඒ අයට අනෙක් දේවල් අදාළ නෑ!

නමුත් නැණවත් කෙනෙකුට මේ හෙල්ලීම වුනොත්... එයම ඒ පුද්ගලයාට “ආර්ය සත්‍ය හෙවත් පෙර නො ඇසූ විරූ පරම සත්‍ය” සොයා ගැනීමට මාර්ගය විවර කර දෙනවා.  අන්න ඒ අර්ථයෙන් මේ වගේ විද්‍යාත්මක ඉගැන්වීම් තුලින් හෝ නොයෙකුත් දර්ශනවාද ආදියෙන් කියැවෙන සම්මත වූ සාපේක්ෂ ඇත්ත කඩා බිඳ දමන ආකාරයේ ඉගැන්වීම් ඉතාමත් වැදගත් වෙනවා.  නැණවතුන්ට උපකාරයක් ම වෙනවා.