මොකක්ද මේ ව්‍යාපෘතිය?

මාතර කුඹල්ගම ගනේගොඩ රජමහාවිහාරයේදී සෑම පොහෝ දිනකම පවත්වන්නට යෙදෙන දහම් සාකච්ඡා වලදී හමුවූ සමන් අන්ධ පුද්ගලයෙක්.  එහෙත් ඔහු කායිකව එසේ ඇති අපහසුතාවයන් දහම් කටයුතු කරගන්නට නම් බාධාවක් කරගෙන නෑ. නිවන් මඟ වුවමනාවෙන් යුතුවම අප්‍රමාදීව කටයුතු කරගන්න ඔහු විටෙක කියා සිටියේ ලබා දෙන දහම් පොත පත කව්රු හරි කියවනවා නම් ඔහුට ඒවා තුල තිබෙන දේත් අඩු නැතිව ඇසුරු කරගන්නට හැකිවෙනවා යන්නයි. 

කියවීමට කම්මැලි පිරිස වෙතට නිර්වාණ ධර්ම ශ්‍රවණය කරන්නට හැකි පරිදි ලබා දෙන්නට සිතේ වූ අදහස මෙවන් පිරිසටත් ප්‍රයෝජනයක්ම නොවේදැයි සිහිපත් වූයේ සමන්ගේ අදහස නිසාමයි.  සීඩී තැටියක් ලබාදුන්නොත් පහසුද කරගන්නේ කෙසේදැයි විමසූ කල සමන් කියා සිටියේ දත්ත ගබඩා කරන්නට හැකි පෙන් ඩ්‍රයිව් (USB) භාවිතය පහසු බවයි.  නැවත නැවත දත්ත අලුත් කරමින් ලබාදෙන්නටත් හැකි නිසාම ඒ ක්‍රමය වඩාත් සුදුසු බව හඳුනාගෙන ඒ අයුරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට තමයි අප සිතුවේ.  ඒ අතර දහමට හිතැති අන්ධ මිතුරන් හමුවූ කල ඔවුන්ට පහසු යැයි පවසන ආකාරයෙන් “නිර්වාණ ධර්ම“ ලබාදෙන්නට තමයි අපගේ සූදානම. 

කියවීමට කම්මැලි පිරිසටත් කියවීමට අපහසුකම් ඇති පිරිසටත් දහම් ඇසුර විවිධ අයුරින් ලබාගන්නට කැමති බොහෝ පිරිසකට මේ ව්‍යාපෘතියත් යහපතක්ම ගෙන දෙත්වා!  ඒ වගේම ඔබගේ අන්ධ මිතුරන් ඥාතීන් සිටී නම් ඔවුන් වෙනුවෙන් සැකසෙන මේ දහම් පණිවිඩයන් ඔවුන් සමඟ බෙදාගන්නට පින්වත් ඔබත් කාරුණිකවන්න!

ඇයි අප මේ දේවල් කරන්නේ?

ඇයි නොකරන්නේ නේද?  කායිකව ඇති අන්ධ බවක් හෝ බිහිරි බවක් හෝ වෙනත් ආබාධයක් ආබාධයක් ලෙසින් මම නම් සලකන්නේ නෑ.  මන්ද අප හැමෝම කොතරම් ආබාධ රහිත වුවත් ඕනෑම මොහොතක ඔය වගේ ඉඳුරන් අක්‍රිය වෙන්නට හැකියි.  ඉතින් එයට මහා විශේෂත්වයක් ලබාදී අනුකම්පා කරනු වෙනුවට අප සැම සසර අනතුර හඳුනාගෙන නිවී සැනසීමට පත්වීමට අප්‍රමාදී වීම තමයි කරගත යුතු වෙන්නේ.

අප හැමෝටම තියෙන්නේ එකම ආබාධයයි.  ඒ තමයි නුවණ මඳකම.  ප්‍රමාදීවෙමින් සසර කතරේ සැනසීමක් හොයාගෙන මිරිඟුවක් පසුපස දුව යන්නේ මේ මෝඩකම නමැති ආබාධය නිසාමයි.  ඒ නිසා ඒ ආබාධය නැති කරගන්නට ප්‍රඥාවට පත්වෙන්නට ප්‍රඥාව පූර්ණය කරගන්නට අවැසි මේ උතුම් බුුදු දහම හැකි අයුරින් විවර කරන්නේ එය විවර වූ තරමටම බබළන නිසාමයි. 

ඉතින් ඔබ දැනටමත් දන්නා පරිදි “නිර්වාණ ධර්ම“ සකසා ඇත්තේ ඇලෙන ගැටෙන පොරකන දැවෙන මිනිසුන් අතර නිවී සැනසෙන නිවී සනසාලන සුවපත් වූ සිත් ඇති මිනිසුන් බිහි කිරීම උදෙසායි.  ඒ නිසා “නිර්වාණ ධර්ම“ ඇසුරට පත්වීමට ආගම්, ජාති, කුලමල, තත්ව තානාන්තර පමණක් නොවේ කායිකව ආබාධ සහිතද නැත්ද යන්නවත් බාධාවක් නොවේ. බිහිරි ප්‍රජාව වෙත නිර්වාණ ධර්මය බෙදා දෙන කටයුතු ඔස්සේ මේ වන විටත් මේ තෙරුවණේ බලය කොතරම්දැයි අප පෙන්වා දී හමාරයි! 

ඉතින් මේ කටයුත්තත් “අහන්න නිර්වාණ ධර්ම“ සේම බොහෝ සිත් සතන් සනසාලමින් ඇත්ත නොදැක අන්ධ වූ සිත් වලට දහම් ඇස පහල වීම පිණිසම හේතු වේවා ලෙසින් පතමු!