නිර්වාණ ධර්මපද

ධම්මපදය තුලින් අප සැම දෙනා මෙතෙක් ඇසුරු කලාවූ අර්ථයෙන් ඔබ්බට ගොස් නිවීම පිණිස තව තවත් ගැඹුරු දහම් මතුකරගැනීම නිවීම පිණිස මහත් සේ උපකාරයක්ම වේ.  ධම්මපදය තුලින් මහා සාගරයක් වැනි සත්ධර්මය ඉතාමත් අපූරුවට පද කීපයකට කැටි කර ඇති අයුරු නිබදවම දක්නට තිබේ.  මේ වදන් තුලින් දැනට අප ඇසුරු කරන අර්ථයන් කොතරම් සරල අර්ථයකින් යුක්තදැයි වැටහෙන විට එහි ගැඹුරට කිදා බැස මට හැකි මට්ටමකින් ඒ ගැඹුරු ධර්මය හසුකරගෙන මතු කරදීම නිවන් කැමති බොහෝ පිරිසකට ඉතාමත් වැදගත් වේවි යැයි මට සිතුණි.  ඒ නිසාම වේලාව ලැබෙන අයුරින් අදාල ගාථා ධර්මයන්ගේ ගැඹුරු අර්ථ ඉස්මතු වන අයුරින් චලන රූ එකතුවක් සකස් කරන්නට කටයුතු කරන්නෙමි. 

අන්තර්ජාලය ඔස්සේ බෙදා හදාගැනීමට මෙන්ම මුද්‍රණය කර බෙදා හැරීමට හෝ සීඩී තැටි වශයෙන් සකසා ගැනීමට කැමති පිරිස් වෙතටද මෙයින් පහසුවක්ම සැලසෙන අතර මේ සියලු දෑ නොමිලේ බෙදා හැරීම පිණිස පමණි.  මුද්‍රණ වියදම පමණක් යොදා යම් මිලක් නියම කරන්නට බලාපොරොත්තු වේ නම් එසේ කිරීමට පෙර නිසි ආකාරයෙන් අපව දැනුවත් කල යුතු බවද සිහිපත් කර සිටිමි.  එමෙන්ම ඇලෙන්නට ගැටෙන්නට වාදයන්ට විවාදයන්ට තර්කකරන්නට හෝ ලාභයන්ට කීර්තියට ප්‍රශංසාවන් ලබන්නට හෝ අනුන් පහත දමා තමන් උසස්වන්නට නොව තමනුත් නිවී තවත් සිතක් නිවන්නට හැකි ලෙසින් සැබෑම මෛත්‍රියෙන් යුතුව කටයුතු කිරීම උදෙසා පමණක් මේ සියලු උත්සාහයන් භාවිතා කිරීම සැබෑම බුද්ධිමත් මිනිසෙකුගේ ලක්ෂණයකි!