අප බොහෝ දෙනෙකුට පැටලුන කරුණාව!

මේ කාලේ වෙනකොට නිවනටම යොමුවූ පැවැත්ම නවත්වන ලෝකෝත්තර දහම් අරුත ක්‍රම ක්‍රමයෙන් යටපත් වෙන්නට පටන් අරගෙන.  එය සාමාන්‍ය දෙයක්.  බුද්ධ ශාසනයක් අවසාන වෙන්නේත් ඒ කරුණම හේතු කරගෙන තමයි. 

ලෝකයේ අනෙක් සතුන් දකින දුක දැකලා විඳින දුක දැකලා අප බොහෝ දෙනෙක් කම්පාවට පත්වෙනවා.  “අනේ පව්” කියලා  ඒ දුක නැති කරන්නට ලෞකික සැප සම්පත් ලබා දෙමින් තම තමන්ට හැකි අයුරින් කටයුතු කරනවා.  උදාහරණයකට කන්න බොන්න නැතිනම් කන්න බොන්න දීලා ඒ දුක නැති කරනවා... ඇඳුම් නැතිනම් ඇඳුම් දීලා ඒ දුක නැති කරනවා... ඉන්න ගෙයක් නැතිනම් ගෙයක් හදලා දීලා ගෙයක් හදාගන්නට උපකාර කරලා ඒ දුක නැති කරනවා... ඉන්නේ ලෙඩ වෙලා නම් රෝග පීඩාවන් දුරු කරගන්නට බෙහෙත් එහෙම සපයලා ඒ දුක නැති කරනවා...අන්තිමට මේ අල්ලා ගැනීමම වැඩිවෙලා “අනෙක් අයට උදව් කරලා වැඩක් නෑ... කිසි ගුණයක් නෑ...” ආදී වශයෙන් මානසිකව අසහනයකට පත්වෙලාම තමයි නතර වෙන්නේ. 

මෙන්න මේ ක්‍රියාවලියට තමයි අප බොහෝ දෙනෙක් කරුණාව, මෛත්‍රිය කියලා කියන්නේ... හැබැයි මෙය ලෞකිකයි... සුගතියට යන්න පුළුවන් වැඩ පිලිවෙලක්... පැවැත්මට හේතු සහිතයි.   ඉතින් පැවැත්මට හේතු සහිතයි නම් එය බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දුන්න නිවනට හේතුවන පැවැත්ම නැවැත්මට හේතුවන ලෝකෝත්තර වැඩ පිලිවෙලක් වෙන්නට නොහැකියි කියලා වැටහෙනවද?

ඒත් ඉතින් කලිනුත් කිව්වා වගේ මේ ගැඹුරු තේරුම දැකගන්නට දක්ෂ නැති කෙනෙක්ට හිතන්නේ ඔය ඉහත කිව්ව ලෞකික සැප සම්පත් ආදියෙන් පෝෂණය කරලා ලබා දෙන වැඩපිලිවෙල තමයි හොඳම කරුණාව හොඳම මෛත්‍රිය කියලා.

ඒකට හේතුවකුත් තියෙනවා.  ඔය වැඩපිලිවෙලේදී ඒ වෙලාවෙදි පේන්න අත්දකින්න දෙයක් තියෙනවානේ.  උදාහරණයකට දුකෙන් අඬ අඬා හිටිය මනුස්සයාට තෑගි ලැබුනම හිනා වෙනවා.  පින් දෙනවා... සතුට ප්‍රකාශ කරනවා.  මේ දෙයින් එයට මුල් වෙච්ච කෙනාගේ හිතට සුවයක් දැනෙනවා.  අන්න ඒ දේවල් වලට ඒ සුවයට රැවටීම නිසා තමයි දැනෙන්නේ මේවා තමයි කල යුතු නියම පින්.  ඕක තමයි මෛත්‍රිය කියන්නේ... ඕක තමයි කරුණාව කියන්නේ කියලා. 

හොඳින් සිහියට ගන්න මේ කියන්නේ මේවා කරන්න එපා කියලා නෙවේ!  ඒ දේවල් තුලින් ගැඹුරු තේරුමක් ගන්නට හැකි තැනකට සිත පත්කරගන්නට මඟ පෙන්වන්නට උපකාරයක් වෙන්නට තමයි මේ උත්සාහ කරන්නේ. 

ඉතින් ඔය ආකාරයෙන් සිතන කෙනාට සිදුහත් කුමාරයා දරුවාවයි බිරිඳවයි දාලා ගිය එක මහා ලොකු පාපයක් විදියට දකිනවා.  මාගන්ධියා අපායේ යන්න හැරලා එයාගේ අම්මටයි තාත්තටයි බණ කියපු එක මහා ලොකු පාපයක් විදියට දැනෙනවා.  අසල්වාසී චුන්ද සූකරට බණ කියන්න ගියේ නැති එක මහා පාපයක් විදියට දැනෙනවා.  පූසා ලේනෙක් කනකොට ලේනව බේරගන්නේ නැති එක මහා පාපයක් කියලා දැනෙනවා.  කෙනෙක්ගේ යහපත උදෙසා තව කෙනෙක්ට හිංසා කරන එක නියම කරුණාව, නියම මෛත්‍රියක් සේ දකිනවා. 

එහෙනම් නිවනක් ඕනෑ පිරිස විසින් මෙහි ලෝකෝත්තර අරුත හඳුනාගන්නට ඕනෑ.  එතකොට දිගින් දිගටම නිවැරදි දෙයක් කියලා හිතාගෙන වැරදි දෙයක්ම කරගෙන යන්නේ නෑ.  කලින් කොටසේදීත් කිව්වා වගේ අපි මේ කෙටියෙන් තමයි විග්‍රහ කරගෙන යන්නේ ක්‍රම ක්‍රමයෙන් දීර්ඝ විස්තර මේ කොටස් වලට එකතු කරන්නම්.