පුළුවන් නම් සොයන්න


ක්‍රිස්තියානි, කතෝලික, හින්දු, මුස්ලිම් වැනි ආගම් සහ බෞද්ධ දර්ශනය තුල යහපත් වූ දෑ කොතරම් තිබුණත් කිලිටි වූ සිත් ඇති මිනිසුන්ගේ සිත් ඇදෙන්නේම පාපයටයි. ඒ දහම් තුල ඉගැන්වීම් තුල තිබෙන රාගය, ද්වේශය, මෝහය වැඩි කරන්නට හේතුවන කොටස්ම සොයාගෙන ඒවායේම වැඩි වශයෙන්ම නිරත වන්නට තමයි බහුතරයක් මිනිසුන් කැමති. ඉතින් මේ නිසාම එක් එක් ආගම් දහම් වලට චෝදනා කරගැනීම නම් අඩුවක් නැතිවම සිද්ධ වෙනවා. හැම ආගමක් දහමක් තුලම යහපත් දෑ තියෙනවා කිව්වාමත් ගැටෙනවා. මෙතරම් සිතක් පිරිහෙන්නට දෙන්න සුදුසුද යන්න බුද්ධිමත් මිනිසුන් වශයෙන් ඔබට සිතා බලන්නට අවස්ථාවක් තමයි මේ කොටස් තුලින් ලබා දෙන්නේ.

ආගම් ජාති කුලමල තත්ව තානාන්තර ලේබලයන් ගසා ගැනීම නිසාම ඒවායේ හරයක් වේ නම් යහපත් දෙයක් වේ නම් ඒවා ගිලිහී යන්නට පටන්ගෙන තිබෙනවා. කුමන ආගමක් දහමක් ගත්තත් මේ හරය දැකගන්නට නොහැකි පුද්ගලයින් තමන් කොතරම් අනුගාමිකයන් යැයි පැවසුවත් අනුගමනය කරන්නේ නම් තම තමන්ගේ ශාස්තෘන්වහන්සේලා පෙන්වා දුන්න දෙය නොවන බව පැහැදිලියි. ඒ නිසා සිතන්න... මෙහි ගැබ්වන්නේ ප්‍රඥාවන්තව විවෘතව සිතන්නට දෑයි...

මේ සෑම පිටුවකම මෙකල ප්‍රකට බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම් වැනි දහම් තුල ඉගැන්වෙන ඉගැන්වීමක් ගැබ් වී තිබෙනවා. ඒවා සෘජුවම ඒ ඒ දහම් ග්‍රන්ථ වලින් උපුටා ගත් දහම් කොටස්. මූලාශ්‍රයත් සමඟින්ම මෙහි සඳහන් කරන්නේ ඔබට බුද්ධිමත්ව විමසා බලන්නටයි. තම තමන්ගේ ආගම් දහම් හරි හැටි දන්නවා නම් මේවා කොතැනින් උපුටා ගත්තේදැයි සොයා ගන්නට හැකිවේවි. මුලාශ්‍රය තියෙන තැනවත් නොදන්නේ නම් තමන් නිසි අනුගාමිකයෙක් බව පවසමින් ගැටෙන්නට තරම් සුදුසුදැයි විමසා බැලීම බුද්ධිමත් ඔබටම භාරයි.

තවත් කෙනෙක් කියන්නට පුළුවන් ඔය ටිකයිනේ වැඩිපුර තියෙන්නේ නරක දේවල් කියලා... මට නම් අහන්න තියෙන්නේ ඉතින් ඇයි ඔබ එකක් හෝ වේවා තියෙන යහපත් කොටස අගය නොකොට අයහපතම ජීවිතයට ලං කරගන්නේ? ඇයි ඔබ යහපත පසෙකලා ශාස්තෘන්ගේ නාමයෙන් අයහපත අනුගමනය කරන්නේ? යහපත අගයන්න... අනුගමනය කරන්න පුහුණු වෙන සිතට ලැබෙන සැනසීම සතුට සාමය අප්‍රමාණයි. ඒ නිගමනය ගන්නෙත් ප්‍රඥාවන්තකම අනුවමයි. ඉතින් බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිසුන් උදෙසා වෙන් වන මේ සියලු දෑ විවෘතව විමසා යහපත උදා කරගන්න.

කොතරම් අපූරුවට අපගේ ජීවිත සකස් කරගන්නට දෑ මේ දහම් තුල ගැබ්වෙනවාදැයි නුවණින් විමසා දැකගන්න. අන්න එවිට ඔබට ඔබගේ ශාස්තෘන්ව දැකගන්නට හැකිවේවි. එවිට සියලු සතට සමසේ ගරු කරමින් මෙත් වඩන්නට ප්‍රේම කරන්නට හැකිවේවි!