මොකක්ද මේ කරුණා ශාසනය?

වචනේ අලුත් වගේ පේන්න තිබුණාට මෙහි අන්තර්ගතය නම් අලුත් නෑ... අදහස එනවා නම් ඉතින් අපිට වචන ගැලපෙන විදියට භාවිතා කරන්න පුළුවන්නේ. නේද?  කෙටියෙන් කියන්නම්කෝ...

තමන් දුක දකින තරමින් අනෙක් කෙනෙක්ගේ දුක දැනෙන්නට පටන් ගන්නවා... හැබැයි මේ කියන්නේ නම් හැමෝම දන්න දකින “අනේ හපොයි” කියන දුක නම් නෙවේ.  කෙනෙක් ලෙඩ වෙලා, වයසට ගිහින් දුර්වල වෙලා, පාරේ අසරණව හිඟාකනවා දැකලා, අනාථ මඩම් ආදිය දැකලා, ආබාධිත බවක් දැකලා කම්පා වෙන ජාතියේ දුක දැකීමක් නෙවේ මේ කියන්නේ.  ඒ අයට උපකාර කරලා පිහිට වෙලා නැති ප්‍රශ්ණ හදාගෙන අසහනයට පත්වෙලා තව තවත් අමාරුවේ වැටෙන ජාතියේ කරුණාවක් මෛත්‍රියක් ගැන නම් නෙවේ මේ කියන්නේ.

සසර අනාථ වන්නට හේතුවන චතු සත්‍ය අවබෝධ වනතෙක් නොදන්නා නොදක්නා දුක ගැන තමයි මේ කියන්නේ.  දුක ගැන හරියටම දැනගන්නේ චතුරාර්ය සත්‍ය දැකීමත් සමඟයි.  මෙච්චර කාලයක් දුක කියලා දැනගෙන හිටියේ ඇත්තටම දුකේ ප්‍රතිඵලයක් මිස විපාකයක් මිස දුක නොවේ කියලා දැනගන්නේ චතුසත්‍ය දැකීමත් සමඟයි.  ඒ දැක්මත් සමඟයි දහම් ඇස පහල වෙන්නේ.  ඒ දහම් ඇසින් තමයි සැබෑම දුකත්, දුකට හේතුවත්, ඒ සියලු දුක් වලින් නිදහස් වීමත්, ඒ දේ කරගන්නට හැකි ක්‍රමයත් දැකගන්නට හැකිවෙන්නේ. 

අන්න එතකොට බැලූ බැලූ අත අනාථ වී සිටින සත්ව පිරිස දකිනවා.  මේ අයටත් මේ සසර දුක කෙලවර කරගන්නට හැකි වේවා කියලා සිතක් පහල වෙනවා.   නිවන් දකින්නට, චතු සත්‍ය අවබෝධ කරගන්නට, හේතු ඵල දහම දැකගන්නට තමන්ට හැකි පමණින් උපකාරයක් වන්නට මඟ පෙන්වන්නට සිතක් පහල වෙනවා. දුක දැකගන්නට විසඳුම දැකගන්නට හැකි ඒ දහම් ඇස පහල කරගන්නට මේ සත්ව පිරිසටත් උපකාරයක් වන්නට ඕනෑය කියලා හිතෙවා.  එහෙම ක්‍රියාවෙන් නොකලත් ඒ පිරිසටත් ඒ භාග්‍ය ලැබේවා කියලා සිතක් පහල වෙනවා.

අන්න ඒ සිත තුල ක්‍රියාත්මක වන කටයුතු සියල්ලම කරුණා ශාසනය නමින් හඳුන්වන්නට හැකියි කියලා කියන්නට හැකියි.  එහෙනම් ප්‍රඥාවෙන් තොරව හටගන්න කරුණාවක් නෑ කියලා වැටහෙනවා නේද?  ප්‍රඥාවෙන් තොරව හටගන්නා මෛත්‍රියක් නෑ කියලා වැටහෙනවා නේද? 

පෘතග්ජන කෙනෙක් කියලා කියන්නේ ආර්යයන්ගේ ධර්මයේ, සත්පුරුෂ ධර්මයේ දක්ෂ නොවන කෙනෙකුටයි.  දක්ෂ නෑ කියන්නේ තවම ඒ පුද්ගලයාට මේ කියන්නාවූ මට්ටමෙන් ගැඹුරු අරුත් වැටහෙන්නේ නෑ කියලා තමයි අදහස් වෙන්නේ.  ඉතින් එහෙම කෙනෙකුට මේ වැඩපිලිවෙල ඉතින් මහා විකාරයක් කියලයි දැනෙන්නේ.  කිසි ඵලක් නැති වැඩ පිලිවෙලක් කියලා හැඟෙන්නේ.  අන්න ඒ නිසා තමයි ඒ දේවල් අපි විස්තර කරගන්නට ඕන.  නුවණින් විමසා නිසි අනිසි දේ තෝරාගන්නට ඕන ඒ නිසාමයි.

වැඩි විස්තර අපි ටිකෙන් ටික කතා කරමු.  දැනට ඉතාමත් කෙටියෙන් මේ හැම දෙයක් ගැනම කතා කරමු!