ප්‍රඥාවන්ත ප්‍රතිපත්ති පූජා

තෙරුවන උදෙසා සිදුකරන විවිධාකාර පුද පූජාවන් බොදුනු සතට අරුමයක් නොවේ. බුද්ධ පූජාවන් ඇතුලු අනෙකුත් වන්දනාමාන කටයුතු මෙන්ම දානමය කටයුතු ආදිය නිවන් මඟට අවශ්‍ය කරන බලය වර්ධනය කරගන්නට අතිශයින්ම වැදගත් වෙනවා. තමන්ටත් තවත් බොහෝ පිරිසකටත් යහපත සලසන කරුණා වැඩපිලිවෙල බොහෝ දෙනෙකුට අනුවණ සහගත ක්‍රියාවලියක් ලෙසටමයි හැඟෙන්නේ. මෙවන් වූ පුදපූජාවන් පවත්වන පිරිස නුවණ නැත්තන් සේ සලකා මෙකල බොහෝ පිරිස් විසින් ඔවුන්ව උපහාසයටද ලක් කරනවා.   ඉතින් එවන් වූ අහිතකර මත දුරලා ගෙන ප්‍රඥාවන්තව මේ කරුණාවේ පියාපත ශක්තිමත් කරගැනීම නිවීම උදෙසා ඉතාමත් වැදගත් වෙනවා.  ප්‍රඥා ශාසනය වැදගත් වන්නේ යම්සේද කරුණා ශාසනයද ඒ අයුරින්ම එපමණින්ම වැදගත් වෙනවා. 

ආමිසමය පූජාවන් යැයි අවතක්සේරු නොකර ඒ සියලු දෑ තුල ප්‍රතිපත්තිමය පූජාව සිදුකරගැනීමට... ප්‍රඥාව උපදවා ගැනීමට... නිවනින්ම සුවපත් වීමට මේ වෑයම සියලු සතට හේතු උපකාර වෙත්වා!