SLSL - ශ්‍රී ලංකා සංඥා භාෂාවෙන් සදහම්

ශ්‍රී ලාංකීය බිහිරි ප්‍රජාවගේ සමාජ තත්වය ඉහළ දැමීම උදෙසා තම ජීවිතමය කැප කොට තිබෙන සම්මානනීය කසුන් චන්දන ජයතුංග මහතාගේ මූලිකත්වයෙන් "අහන්න" සමාජ සත්කාරය ආරම්භ වූයේ සමස්ථ ලාංකීය බිහිරි ප්‍රජාව උදෙසාමයි.  අධ්‍යාපනික, වෘත්තිමය, දක්ෂකම් වලින් පිරිපුන් දියුණු බිහිරි සමාජයක් ගොඩනැංවීම පිණිස ආරම්භ කල "අහන්න" සමාජ සත්කාරයේ පදනම වන්නේ බිහිරි ප්‍රජාව තුල දියුණු ආධ්‍යාත්මයක් සකස් කිරීමයි.   ඒ අනුව මුළු ලෝකයේම බිහිරි ප්‍රජාව වෙත ඒ ඒ සංඥා භාෂාවන් තුලින් බුදු දහම හඳුන්වාදීමට "නිර්වාණ ධර්ම" උත්සාහයද මල් ඵල ගන්වමින් ලාංකීය බිහිරි ප්‍රජාව වෙත ලක්බිම ප්‍රථම වරට බුදු දහම විධිමත්ව සංඥා භාෂාව හරහා ලබා දෙන්නට අපගේ එකමුතුවට හැකිවුණා. 

2014 වර්ෂයේදී දහම් වැඩසටහනකින්ම ආරම්භ වූ මේ සත්කාරය මේ වන විට අතිසාර්ථකව කටයුතු කරගෙන යමින් තිබෙනවා.  සමස්ථ බිහිරි ප්‍රජාව වෙතටම සත්ධර්මය ලබා දීමේ කසුන්ගේ සිහිනය සැබෑ කරන්නට "නිර්වාණ ධර්ම" හට හැකිවී තිබෙනවා.  "අහන්න නිර්වාණ ධර්ම" නමින් ලක්බිම සිසාරා මේ වන විට අතිසාර්ථකව කෙරීගෙන යන මේ දහම් සත්කාරය බිහිරි ප්‍රජාව තුල ඉතාමත් ඉක්මනින්ම ආධ්‍යාත්මික දියුණුව පෙන්වන සත්කාරයක් බවට පත්වී තිබෙනවා.  මෙම මාසික වැඩසටහන් වලට අමතරව අප විසින් සත්දහමෙන් යුතු ඩීවීඩී තැටි නිර්මාණය කරන්නට, මෘදුකාංග නිර්මාණය කරන්නටද කටයුතු කරනවා.   ආධ්‍යාත්මික දියුණුව ලබන්නේ යම්සේද එපමණකින්ම දියුණු සමාජයක්ද ගොඩනඟන්නට හැකි බව "අහන්න"  මෙන්ම "නිර්වාණ ධර්ම" නිර්මාතෘවරුන්ගේ විශ්වාසයයි.  ඒ විශ්වාසය තහවුරු කරමින් සාර්ථක ප්‍රථිපල පෙන්වන්නට අපගේ මේ දහම් සමාජ සත්කාරයට හැකිවී තිබෙනවා.  පිරිසිදු බුදු දහම විවර වෙමින් බබළනවා දකින්නට කැමති සත වෙතට මේ කටයුතු දැක බලාගන්නට මේ තුලින් අවස්ථාව තිබෙනවා.