සම්බුදු ඔවදනට අනුව කෙසේද?


සම්මා සම්බුදු රජාණන්වහන්සේ කෙනෙක් තුන් ලෝකයට පහල වුනේ නැතිනම් බුදු දහම යැයි අප හඳුනාගත් දහමක්ද නැති බව සිහියේ තිබීම මේ නිවන් මඟ වඩන ශ්‍රාවකයෙකුට අත්‍යවශ්‍යම කාරණයකි. ඒ බුදු දහම තම තම නැණ පමණට වැටහෙන අයුරින් තෝරාගෙන ඒ ඒ මට්ටමෙන් ප්‍රතිඵල ලබන්නට හැකි බව සැබෑය. එහෙත්, ඒ තෝරාගත හැකි තම තම නැණ පමණ එතරම් ඉහළ මට්ටමක නොවූ කල සම්මා සම්බුදු රජාණන්වහන්සේ කෙනෙක් පෙන්වා දුන් දහම මෙයම වේ යැයි, ඒ ඒ පුද්ගලයන් විසින් සහතික වෙමින් පවසයි. එහිදී කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් නොඅසාගන්නා පිරිස නිසාම, එන්න එන්නම ගැඹුරු දහම පමණක් නොවේ, සම්බුදු ඔවදනද අප අතරින් ගිලිහෙමින් පවතී. අන්න ඒ නිසාම, උතුම් සම්මා සම්බුද්ධ රත්නය විසින් තුන් ලෝක සත්වයාට මතු කර දුන් ඒ උතුම් සත්ධර්ම රත්නය ඇසුරු කරමින් උතුම් ආර්ය මහා සංඝරත්නය බවට පත්වීමට ප්‍රඥාවන්තව, සිහි බුද්ධියෙන් කටයුතු කරගන්නා සියලු සත වෙත සම්බුදු ඔවදනට ගරු කොට නිවන් මඟ වඩාගන්නට උපකාරයක් ලබා දෙන දහම් විග්‍රහයන් රැසක් මෙසේ එකට ගොනු කරන්නෙමි. ඒ උතුම් සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය නම් වූ සූත්‍රය සොයාගෙන ලෝක සත්වයාට පෙන්වා දුන් සේක! ඒ සූත්‍රය අවබෝධ කරගත් කල ලෝකය තතු සේ දැක ලෝකයෙන් එතෙරවන්නට හැකි බව පෙන්වා දුන් සේක! ඒ සූත්‍රය ගැබ්කරමින්, ඒ සූත්‍රය අනුසාරයෙන් සියලුම කරුණු කාරණා උදෙසා විසඳුම්, පැහැදිලි කිරීම් ආදී සියලු දේ ලබාදුන් සේක! ඵලය, ඒ ඵලය ලබන්නට හේතුව, ඒ හේතුව නිරෝධයෙන් ඵලය නොලැබෙන විට අත්දැකිය හැකි තත්වය හෙවත් විසඳුම සහ ඒ තත්වය / විසඳුම ලැබීම පිණිස හෙවත් හේතුව නිරෝධයෙන් ඵලය නිරෝධ කරගන්නා මාර්ගය නම් වූ ලෝකයේ එකම සත්‍ය වූ ආර්යයන් විසින් දකින සූත්‍රය හෙවත් චතුරාර්ය සත්‍ය පෙන්වා දුන් සේක. ඒ සූත්‍රය ගැබ් කොට සම්බුදු ඔවදන් දුන් සේක! ඒ ඔවදන නොහඳුනන සිතක් බුද්ධ ශ්‍රාවකයෙක් නොවනුද ඇත! ඒ නිසාම, සම්බුදු ඔවදන හඳුනාගෙන නිවන් මඟ කළ එලි කරගැනීමටත්, උතුම් තථාගත ශ්‍රී සත්ධර්මය විවර වෙමින් බැබළීම පිණිසත්, මේ වෑයමද හේතු උපකාර වෙත්වා!