සිරවූ සිතට විමුක්තිය

සිරවූ සිතට විමුක්තිය

සක් හඬ බන්ධනාගාර කරා පැතිරී යන වගයි!

කුඩා කල පටන්ගෙන මිතුරියක වන ඉරේෂා උදයංගනී මිතුරියගේ සහාය නිසාම “නිර්වාණ ධර්ම“ බන්ධනාගාර තුල සිරවූ සිත් වලට ලබාදීමේ වැඩසටහන ඉක්මනින්ම සාර්ථක කරගන්නට අවස්ථාව උදා වුණා.

බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරී පද්මසිරි පෙරේරා මහතා සහ වටරැක විවෘත සිරකඳවුරේ සේවය කරන තක්ෂිලා මහත්මියගෙන් සහ ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තවත් නම් සඳහන් නොකල පිරිසකගෙන් ලැබුණ සහාය බොහෝමයි. 

මේ සියලු උපකාර මැද නිර්වාණ ධර්ම - “සිරවූ සිතට විමුක්තිය“ නම් වූ ව්‍යාපෘතිය සාර්ථකව ආරම්භ කරන්නට අපට හැකිවුණා.  වටරැක වටරැක විවෘත සිරකඳවුරේ 25 – 30ක් පමණ පිරිසකට 2016. 10. 15 පොහෝ දිනයේදී සිදුකරන ලද නිර්වාණ ධර්ම සාකච්ඡාව අවසානයේ තෙරුවණේ අපමණ ආශිර්වාදය බලය කොතරම්දැයි අත්දැකගැනීමට හැකිවූයේ ඇසූවන්ගේ සැනසීමට පත් සිත් වලින් නැගුන ප්‍රතිචාර නිසාමයි. 

අධික පීඩනයකින් කවදා නිදහසක් ලැබේදෝයි සිතමින් සිටි සිත් කිහිපයක්ම “දැන් නම් හිරේ වුණත් සැනසීමෙන් ඉන්න ටික ඉන්න පුළුවන් කියලා හිතෙනවා“ යැයි පැවසුවේ නැවත නැවතත් මේ උතුම් සත්දහම ඔවුනට ලබාදෙන මෙන් ආයාචනයක්ද කරමින්මයි. 

තෙරුවණේ ආශිර්වාදයෙන් ඒ සිත් සතන් සනසාලන්නට නැවතත් අවස්ථාවක් උදාකරදෙන්නට තමයි අපගේත් උත්සාහය! 

සිරගතවූවත් නැතත් අප සියලු දෙනාම අපගේම මනසේ සිරකරුවන් වී හමාරයි.  එහෙත් සත්දහම අසමින් ප්‍රඥාව නැඟෙන කල තවත් නම් සිරවී සිටින්නට අවස්ථාවක් නැතිබව වැටහෙන්නෙත් තමන්ටමයි.  විමුක්තිය පිණිසම වූ විමුක්තිය උදෙසාම වූ ඒ උතුම් පිරිසිදු සත්දහමේ සක් හඬ තුන් ලොව සියලු සත වෙත නැවත නැවතත් විවර ව පැතිරී යාවා! 

මේ පුණ්‍ය කුසල කර්මයට නන් අයුරින් සහාය දුන් උපකාර කල සෑම සියලු සතට නිවන් සුවයම වෙත්වා!!!