කළගුණ සැළකීමේ අගය

කළගුණ සැළකීමේ අගය

කළගුණ සැළකීම, කෘතෝපහාරයන් දැක්වීම, කෘතගුණ සැළකීමේ ගුණය අමුතුවෙන් විග්‍රහ කල යුතු ගුණයක් නොවේ.  කළගුණ සැළකීම යනු ඉතාමත් දුර්ලභ ගුණයක් ලෙසින් තමයි බුදු හිමියන් පෙන්වා දුන්නේ. 

සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - 12. ආපායික වර්ගය - 114. දුල්ලභ පාතුභාව සූත්‍රය මෙන්න මේ විදියට පෙන්වා දෙනවා...

“මහණෙනි, ලොකයෙහි තිදෙනෙකුන්ගේ පහලවීම දුර්ලභ වන්නේය. කවර තිදෙනෙකුන්ගේද යත්? “මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන්ගේ පහළවීම ලොකයෙහි දුර්ලභය. තථාගතයන් විසින් අවබොධ කරනලද ධර්ම විනය දෙශනාකරන පුද්ගල තෙමේ ලොකයෙහි දුර්ලභය. කළගුණ දන්නාවූ කළගුණ සලකන්නාවූ පුද්ගල තෙමේ ලොකයෙහි දුර්ලභය. මහණෙනි, ලොකයෙහි මේ පුද්ගලයන් තිදෙනාගේ පහළවීම දුර්ලභය.”

තවත් අවස්ථාවක සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - දුක නිපාතය - පළමුවෙනි පණ්ණාසකය - 1. කම්මකාරණ වර්ගය - 4. සමචිත්ත වර්ගය මෙසේද පෙන්වා දෙනවා;

“මහණෙනි, අසත්පුරුෂ භූමිය කවරේද? මහණෙනි, අසත්පුරුෂ තෙම කළ උපකාර නොදන්නේ වෙයි. කළගුණ ප්‍රකට කොට නොදන්නේ වෙයි. මහණෙනි, යම් මේ කළගුණ නොසැලකීමක් වේද, කළගුණ නොසැලකීම් භාවයක් වේද මේ කාරණය අසත්පුරුෂයන් විසින් වර්ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ නොසැලකීමක්වේද, කළගුණ නොසැළකීම් භාවයක් වේද, මේ කාරණය සම්පූර්ණයෙන් අසත්පුරුෂ භූමි නම් වේ.

සත්පුරුෂයන්ගේ භූමිය හෙවත් සත්පුරුෂ ගුණයක් තමයි කෘතෝපහාර දැක්වීමේ ගුණය...

“මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි කළ උපකාර දන්නේ වෙයි. කළගුණ ප්‍රකටසේ දන්නේ වෙයි. යම් මේ කළගුණ දන්නා බවක්, ප්‍රකටසේ දන්නා බවක් වේද, මේ කාරණය සත්පුරුෂයන් විසින් වර්ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ දන්නා භාවයක් වේද, කළගුණ ප්‍රකටසේ දන්නා භාවයක් වේද, සම්පූර්ණයෙන් මේ කාරණය සත්පුරුෂ භූමි නම්වේ.”

ඉතින් දුර්ලභ මනුස්ස භවයක් ලබා ඇති ඔබ තුල අති දුර්ලභ සත්පුරුෂ ගුණයන් වන කළගුණ සැලකීමේ ගුණය... උපකාරයට ප්‍රතිඋපකාර දැක්වීමේ ගුණය වර්ධනය කරගන්නට අප්‍රමාදීව කටයුතු සලසාගන්නට හැකිවේවා!  මෙම මාතෘකාවට සම්බන්ධ තවත් බොහෝ දෑ ඉදිරියේදී අවස්ථාව ලැබෙන පරිදි විග්‍රහ කරගනිමු!