බුදු සසුන මඟ නොහැරේවා!

  11 දෙසැම්බර් 2022

Article summary

මෙම සටහන සාමාන්‍ය මට්ටමේ “සාපේක්ෂ සත්‍ය හෙවත් සාමාන්‍ය ඇත්ත” හෝ වේවා... එසේ “සාමාන්‍ය ඇත්ත” යැයි සිතා ගෙන සිටින බොරුව මතු කර සම්මත ඇත්ත කඩා බිඳ දමන විද්‍යාත්මක විග්‍රහයන් හෝ ආධ්‍යාත්මික භාවනා අත්දැකීම් හෝ දර්ශන වාද හෙවත් “නිරපේක්ෂ සත්‍ය හෙවත් පරමාර්ථ සත්‍ය” වේවා... බුදු දහම ලෙසින් ලේබල් කර ගැනීමට පෙර...

බුදු දහම සේ හඳුනා ගත් ප්‍රතිරූපකයක් අති දුලභ තථාගත දහම ලෙසින් නිගමනය කර ගැනීමට පෙර... නැණවත් ව විමසීමට ඉඩ වෙන් කර ගැනීමට ප්‍රඥාවන්ත ඔබට කරන ආරාධනයක් පමණයි!

මන්ද මේ වගේ අතරමං වෙලා තමයි ඔබයි මම යි හැමදාම මේ දුලභ බුදු සසුන මඟ හරවා ගත්තේ.  ඒ නිසා පුරුද්දට වගේ නැවතත් එයම කර ගන්නේ නැතිව මේ ශාසනය තවමත් විද්‍යාමාන කාලයේ, “ආර්ය සත්‍ය හෙවත් පෙර නො ඇසූ විරූ පරම සත්‍ය” විග්‍රහ කරන අති දුලභ කල්‍යාණ මිත්‍ර වැට තවමත් නො කැඩී පවතින මේ කාලයේ සැබෑ ම සත්‍ය සෙවීමට... විමුක්තිය ලැබීමට... අප්‍රමාදී වෙමු!

විද්‍යාත්මක ඉගැන්වීම් අහන්න විමසන්න... මේ බෙදා ගත් වීඩියෝවේ තියෙන සොයා ගැනීම් වගේ දේවල් ඔබ තදින් දරා ගෙන විශ්වාස කර ගෙන සිටින “සාපේක්ෂ සත්‍ය හෙවත් සාමාන්‍ය ඇත්ත” කොතරම් මුලාවක් ද යන බව වටහා ගැනීමට ඒ දේවල් බොහෝ උපකාර වේවි.  නැණවතුන් ඒ දේවල් උපකාර කර ගන්නවා! 

බොහෝ වෙලාවට සිදු වන්නේ මේ වගේ ලෝකයේ පහසුවෙන් සොයා ගන්නට හැකි මට්ටමේ විග්‍රහයන් පවා ගැන විමසීමක් නොමැති වූ කල සාමාන්‍ය පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින මට්ටමෙන් ඔබ්බට යමක් විමසීමක් කරන්නේ ම නැති වීමයි.

මේ කාලයේ තථාගත දහම් අසන්නට ඕනෑ කියමින්, විමුක්තිය ලබන්නට ඕනෑ කියමින් එක් රැස් වන බහුතරය තුල ඒ විමසීම අවමයි.  ඒ නිසා, දහම් විග්‍රහයක් සිදු කරන විට මූලික ව මේ මට්ටම් ගැන පෙන්වා දෙන්නට සිදු වෙනවා.  එවිට “සම්මත කර ගත් සාපේක්ෂ වූ සාමාන්‍ය ඇත්ත” මට්ටම කඩා බිඳ දමන්නට “නිරපේක්ෂ වූ පරමාර්ථ ඇත්ත” විග්‍රහ කර දෙන්නට සිද්ධ වෙනවා.  මේ දෙකේ විග්‍රහයන් උපකාර කර ගැනීම තුලින් ම තමයි “ආර්ය සත්‍ය හෙවත් පරම සත්‍ය” අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන විග්‍රහය කරා ගෙන යන්නට සිදු වන්නේ.

නමුත් ඒ අවස්ථා වල දී බහුතරයක් දෙනා නැවත නැවතත් පරම සත්‍ය ලෙසින් මේ කිවූ මූලික බොරුව ම ඇත්ත ලෙසින් ගෙන ඒ ඒ තැන් වල හිර වෙනවා.  මේ තමයි බුදු දහම කියලා නවතිනවා. නැණවත් ව නිවැරදි ව ශ්‍රවණය සිදු නොවන නිසා තමයි ඒ පැටලීම සිදු වන්නේ.  ඉතින්, බුදු දහම සේ මේ දේවල් පටලවා නො ගන්නට දක්ෂ වෙන්න ඕන. සැබෑ ශ්‍රාවකයෙක් වීම පිණිස අවශ්‍ය ගුණ දහම්, වඩා ගත යුතු කුසලතාවය හඳුනා ගෙන අවංක කැපවීමෙන් යුතුව ඒ පරිසරය තමන් තුල සකස් කර ගන්නට ඕන.  පහසුවෙන් අවබෝධ කර ගත හැකි දෙයක් ටිකක් අමාරුවෙන් අවබෝධ කර ගත්තා කියලා ඒක තමයි සත්‍ය ලෙසින් නිගමනය කිරීම මොට්ටකම ක් මිස නිවැරදිව නැණවත් ව විමර්ශනයක යෙදෙන්නෙකුගේ... සත්‍ය ගවේෂණය කරන්නකුගේ සැබෑ ස්වභාවය නොවන බව දැකිය යුතුයි.   

අවංකව ම විමසන ඔබට වරදින්නේ නෑ.  හැමදාම කියනවා වගේ... කොටින් ම ඔය වීඩියෝවේ අන්තිම විග්‍රහය සිදු කල මහත්මයාත් කියනවා වගේ වැදගත් වෙන්නේ “උත්තරය නොවේ... වැදගත් වෙන්නේ ඔබගේ ප්‍රශ්නයයි!” ජීවමාන ව බුදු සසුන ඇති කලෙක නිසි ඵල නෙලා ගැනීමට ඔබට ප්‍රඥාව ම ලැබේවා!