පැවැත්මේ සිතියම

ජූලි 2023 කතු වැකිය

පැවැත්මේ සිතියම

සටහනේ අන්තර්ගතය

නිවන් මඟ කළ එළි කර ගන්නට උත්සාහ කරන, බුදු දහමට තරමක් ආධුනික මට්ටමේ සිටින, මේ යහපත් වූ ගැඹුරු දහම් විමසන්නට ඉතාමත් කැමැත්තෙන් සිටින පිරිස නිතරම අහන ප්‍රශ්න තියෙනවානේ. සමහර ප්‍රශ්න ඉතින්, සෘජුවම ප්‍රතිපදාවට හෝ සත්‍යාවබෝධයට සම්බන්ධ නැති වුවත් තමන් මේ බැස ගන්න යන්න සාගරය ගැන යම් තාක් දුරකට අදහසක් ගන්නට උපකාර වෙනවා. ඉතින්, අන්න ඒ වගේ දැන ගෙන සිටීමේ වරදක් නැති, තමන්ගේ ගමන සකස් විය යුතු ආකාරය ගැන අදහසක් ගැනීමට හැකි ආකාරයේ ප්‍රශ්නයකට ඉතාමත් සාරාංශගතව පිළිතුරක් ලබා දීමට මෙවර කතු වැකිය වෙන් කරන්නට සිතුවා.

අපි මෙවර කතු වැකිය තුලින් අපගේ මේ ගමන සකස් වී ඇති ආකාරය ගැන කතා කරමු.  ඒ කියන්නේ අපේ විමුක්තිය දක්වා වූ අපේ ගමනේ සිතියම මොන වගේ ද කියලා ඉතාමත් කෙටියෙන් වටහා ගනිමු.

මේ ලෝකය තුල සැරිසරන අපට එක්තරා අවස්ථාවක් තියෙනවා අපි කව්රුවත් කියන දේවල් ගනං ගන්නේ නෑ.  අපිට වැඩක් නෑ.  අපි දන්න දේ තමයි හරිම දේ.  පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින මට්ටමෙන් අපට අත්දකින්නට පුළුවන් දේ තමයි අපිට ඇත්ත.  එයිට වඩා ලෝකයේ ඇත්තක් තියෙනවා කිව්වට අපට ඒක අදාළ නෑ.  දැන ගන්නට අවශ්‍යයත් නෑ.  අපි හිතන්නේ අපි ගැන විතරමයි.  හරිම ආත්මාර්ථකාමීයි.  අපට අනුන්ගෙන් වැඩක් නෑ... යහපත අයහපත කියන දේවල් අදාළ නෑ.  හානිදායක සේ හැසිරෙන එක අපට එතරම් දෙයක් නෙවේ.  මොකද අපි සියල්ල ම දන්නවා කියලා තමයි අපි හිතා ගෙන ඉන්නේ. මෙන්න මේ විදියට අන්ධ බාල විදියට හරයක් තියෙනවා කියලා හිතා ගෙන හරයක් නැති වැඩ කරන අවදියට අපි කියනවා “අන්ධ බාල පෘතග්ජන” මට්ටම කියලා.  මේ ලෝකයේ යහපත් වූ දේට අන්ධ වූ... අයහපත් දේ ම කරන බාල වූ මානසික මට්ටමක්.   

මේ මට්ටමේ දී අපි ඉන්නේ තමන් හැරෙන්නට මේ ලෝකයේ තමන්ට වඩා කිසිවක් දන්නා කිසිම කෙනෙක් නෑ කියලයි.  තවත් කෙනෙකුට ගරු කරන්න, නැමෙන්න, නො දන්නා දේ විමසන්න මේ මානසික මට්ටම තුල කිසිම කැමැත්තක් නෑ.  ධර්ම වචන වලින් කියනවා නම් “දස වස්තුක මිත්‍යා දෘෂ්ඨි” යත් දරා ගෙන ඉන්නේ. සම්මතයේ ආගමක් දහමක් අනුව කටයුතු කරනවා වගේ පෙන්වන, නමුත් තමන්ගේ ආත්මාර්ථකාමී අදහස් පිණිස තමන්ගේ ආගම දහම පවා යොදා ගන්නා ඕනෑම ආගමක අන්තවාදී පිරිසත් මේ කොටසට ම ඇතුළත් හොඳේ.  මොකද මේ “අන්ධ බාල” අදහසේ තේරුම යහපත් වූ දෙයක් වේවා... සත්‍ය වූ දෙයක් හෝ වේවා වටහා ගන්නට දක්ෂ නොමැති කමයි. හරි දේ පේන්නේ නෑ... නැණවත් ව හැසිරෙන්න දන්නේ නෑ...   ඉතින්, තමන්ගේ ආගමක දහමක උගන්වන හරය... යහපත වටහා ගන්නට නොහැකි ව ආගමක නාමයෙන් තමන්ටත් අනුන්ටත් හානිදායක සේ හැසිරෙන සියලු පිරිසත් මේ කොටසට ම අයත් වෙනවා. මේ මට්ටමේ දී “පරම සත්‍ය” හෙවත් “ආර්ය සත්‍ය” ගැන සේයාවක් වත් දන්නෙත් නෑ... මේ මානසිකත්වයට ඒ ගැන දැන ගන්නට අවශ්‍යත් නෑ!”

ඉතින්, මෙහෙම ඉන්න අතරතුර කෙනෙකුට මේ මානසිකත්වය හරි වදයක් වෙන්න පුළුවන්. තමන්ට එයිට වඩා සහනයක් ඕනෑ වෙන්න පුළුවන්.  තමන්ට මේ මානසික මට්ටමෙන් නිදහස් වීමක් අවශ්‍ය වෙන්න පුළුවන්.  අන්න එතකොට ඇහුම්කන් දීම පටන් ගන්නවා.  ගරු කරන්න... යහපත් දේ කරන්න... උතුම් දේ සොයන්න පෙලඹෙනවා.  ඒ කටයුතු හරහා ම තව තවත් සතුටට පත් වෙමින් ඒ යහපත් දේ ම සොයනවා.  අන්න ඒ මානසික මට්ටමට එන විට අන්ධ බව ඉවත් වෙලා... බාල බව ඉවත් වෙලා... සත්පුරුෂ වූ මට්ටමක් ලැබිලා.  තවමත් “පරම සත්‍ය” හෙවත් “ආර්ය සත්‍ය” ගැන අසා ගෙන නැති වුවත්... දන්නේ නැති වුවත්... දැන් මේ විවර වීම ඒ කරා යන්නට උපකාර වෙනවා.  ඉතින්, මේ මට්ටම කියනවා "සත්පුරුෂ පෘතග්ජන මට්ටම" කියලා. අශ්‍රැතවත් පෘතග්ජන වුවත් සත්පුරුෂ ගුණ දහම් සහිත පුද්ගලයින්.  ඕනෑම ආගමක් දහමක් අනුව ජීවත් වන තමන්ටත් අනුන්ටත් යහපත් ආකාරයෙන් ජීවත් වන පිරිසට. ආගමක දහමක නාමයෙන් වත් කාටවත් ම හිංසාවක් කරදරයක් නොකර පිරිසට.  තවත් ආකාරයකින් කියනවා නම් දස වස්තුක මිත්‍යා දෘෂ්ටික කාරණා හදවතින් ම ප්‍රතික්ෂේප කරමින් යහපත් ආකාරයෙන් කටයුතු කරන පිරිස.  මනුස්ස ගුණ ධර්ම වලින්, දේව ගුණ ධර්ම වලින් පිරුණු පිරිසට. මේ මට්ටම පත් පුද්ගලයෙක් කියන්නේ තමන්ට වඩා දේවල් දන්න මේ ලෝකයේ උතුමන් කියලා පිරිසක් ඉන්නවා කියන ගෞරවය විශ්වාසය ඇතිව කටයුතු කරමින් ඒ තමන් නො දන්නා දේ විමසන පිරිසට.

දැන් මේ මට්ටමේ ඉන්න කෙනෙකුට තවත් වුවමනාවක් එනවා.  දැන් ටික, ටික “පරම සත්‍ය” හෙවත් “ආර්ය සත්‍ය” ගැන විමසන්නට විවර වීමක් එනවා.  ලෝකයේ විමුක්තිය යැයි යමක් වේ නම්... විමුක්ත වූවා යැයි පවසන යමෙක් වේ නම් ඒ අය ගැන විමසන්න... විමුක්තිය මුල් කර ගෙන පැවැත්ම අවසන් කර ගන්නට අදහස් පහල වෙලා ඒ අනුව කටයුතු කරන මානසික මට්ටමකට පත් වෙනවා.  අන්න ඒ මට්ටමට කියනවා කල්‍යාණ පෘතග්ජන මට්ටම කියලා. කලින් කිව්වා වගේ දැන් මේ සත්පුරුෂ පෘතග්ජන මට්ටම කියන්නේ ම ඉතාමත් යහපත් වූ සත්පුරුෂ ගුණ ධර්ම වල හික්මෙන යහපත් වූ මානසික මට්ටමක්.  ඒ අයගෙන් පිරිසක් තමන්ටත් අනුන්ටත් යහපත් සේ හැසිරෙමින් සතුටෙන් ජීවත් වෙනවා.  තවත් පිරිසක් ඉන්නවා ඒ අයට සත්‍ය සෙවීමට පිපාසයක් ඇති වෙලා.  ඒ අය සාමාන්‍යයෙන් යහපත් ලෙසින් ජීවත් වීමෙන් විතරක් තෘප්තිමත් නෑ.  ඒ නිසා ඒ අය ලෝකයේ පරම සත්‍ය කුමක් ද කියලා සොයනවා.  එසේ සත්‍යාවබෝධ කල උතුමන් ව සොයනවා.  විමුක්තිකාමි, සත්‍ය සෙවීමේ මානසිකත්වයක් සකස් වූ පිරිසක්.  විමුක්තිය පිණිස තමන් බොහෝ දේ තනිවම අත්හදා බලා තිබෙන්නත් පුළුවන්... නැති වෙන්නත් පුළුවන්... ඒ කියන්නේ භාවනා ආදියෙන් මනස දියුණු කල දැහැන් අභිඥා ආදිය ඇති කෙනෙක් වෙන්නත් පුළුවන් නො වෙන්නත් පුළුවන්. තාපසයෙක් වෙන්න පුළුවන්, ගිහි පරිසරයක ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්, පැවිදි ජීවිතයේ ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්.  මෙන්න මේ මට්ටමට මානසිකත්වය සකස් වුණා ම ඒ මට්ටම අපට “කල්‍යාණ පෘතග්ජන මට්ටම” කියලා. 

දැන් ඉතින් ඒ පිරිස, තමන්ගේ විමුක්තිය සොයා යෑම, සත්‍ය ගවේෂණයේ උච්චතම අවස්ථාවට පත් වෙනවා. “කල්‍යාණ පෘතග්ජන මට්ටම” ට මානසිකත්වය සකස් වූ පසුව සත්‍යාවබෝධය පිණිස පිපාසය අධිකයි.  ඒ වෙනුවෙන් ම කැප වෙන චරිත බවට පත් වෙනවා.  ගිහි වේවා පැවිදි වේවා මානසික මට්ටම සකස් වෙලා තියෙන්නේ ම පරම සත්‍ය අවබෝධයෙන් විමුක්තිය ලැබීම තමයි විය යුතු දේ කියන තැනයි.  ඒ නිසා ම ඒ අයගේ ඇහුම්කන් දීම ප්‍රබලයි.  උතුමන් සොයනවා... තමන්ට වඩා දන්නා පිරිස හොයනවා... හැමෝටම ඇහුම්කන් දෙනවා.  ඔන්න ඉතින්, ඒ අයට ආර්ය සත්‍ය අවබෝධ කර ගත් පිරිස මේ අතර ඉතින් හමු වෙනවා.  ඒ සත්‍යාවබෝධය ලැබිය හැකි ධර්මය හමු වෙනවා.  “පරම සත්‍ය” හෙවත් “ආර්ය සත්‍ය” කියන කාරණය ගැන අසා ගන්නවා.  ඒ කියන්නේ ලෝකයේ පරම සත්‍ය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් ය... ඒ ගැන පෙන්වා දුන් ශාස්තෘන් වහන්සේ මෙන්න මේ වගේ කෙනෙක් ය... විමුක්තිය ලැබීම පිණිස ඒ ආර්ය සත්‍ය අවබෝධ කල යුතුය කියලා අදහසක් ඇති වෙනවා. 

දැන ගෙන ඇසුරු කලා නෙවේ හොඳේ... තමන්ගේ සත්‍යාවබෝධය සඳහා වූ පිපාසය තමයි ඔබව මේ අවස්ථාවට ගෙන යන්නේ.  ඔන්න එතකොට සම්මා සම්බුදු කෙනෙකු හමුවේ... සම්මා සම්බුද්ධ ශ්‍රාවකයෙක් හමුවේ මේ අයට මේ ආර්ය සත්‍ය මෙන්න මෙයයි කියන අනුමාන ඥානයක් ලැබෙනවා.  තවම සත්‍ය කුමක් දැයි හරියට ම ප්‍රත්‍යක්ෂ වුනේ නෑ.  අනුමාන වශයෙන් මෙය ම තමයි කියන අනුමාන අවබෝධයක් ලැබුණා පමණයි.  දැන්, ඉතින් පරම සත්‍යය අවබෝධ කර ගැනීමට නම් ඇසුරු කල යුතු පිරිස... ඇසුරු කල යුතු ශාස්තෘන්... ඇසුරු කල යුතු ධර්මය ගැන මේ අයට අනුමාන වශයෙන් හොඳින් ම දැනෙනවා.  අන්න ඒ මානසික මට්ටමට පැමිණියා ම කියනවා “ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක්” ය කියලා. 

ඔන්න දැන් එනවා “ආර්ය පුද්ගල” මට්ටම.  මේ මට්ටම අපට අවස්ථා 8කට බෙදා දක්වන්න පුළුවන්.  ඒ අවස්ථා 8 ගැන මේ විග්‍රහය තුලින් ම බලා ගෙන යමු කෝ.

ශ්‍රැතවත් කිව්වේ ඇයි?  දැන් අසා ගත යුතු ආර්ය සත්‍ය හෙවත් පරම සත්‍ය අසා ගන්නා නිසා.  ආර්ය පුද්ගල මට්ටම ඇහුම්කන් දෙන ආර්ය පුද්ගලයන් අනුව යන කෙනෙක් නිසා තමයි “ආර්ය ශ්‍රාවකයෙක්” කියලා කියන්නේ.  ඉතින්, මේ අතර කෙනෙක් බොහෝම ශ්‍රද්ධා සම්පන්නයි.  ඒ අය තමන් තුල වූ ඒ ශ්‍රද්ධාව ම මුල් කරලා තමයි ඇහුම්කන් දෙන්නේ.  අන්න ඒ නිසා ඒ අයට “ශ්‍රද්ධානුසාරී” පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්.  තවත් කෙනෙක් බොහෝම විචාරශීලී නුවණකින් යුතුව කියන කාරණා විමර්ශනය කරමින් කටයුතු කරන ඒ ප්‍රඥාවන්ත ගැඹුරු වූ දහම් හි අසිරිය දකිමින් ඒ අනුව ශ්‍රද්ධාව ඇති වන පුද්ගලයෙක් නිසා ඒ අයට “ධම්මානුසාරී” පුද්ගලයෙක් කියලා කියනවා.  දැන් මේ මට්ටමේ දී තවමත් අසා ගැනීම සම්පූර්ණ වෙලා නෑනේ.  ඒ කියන්නේ සත්‍ය ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නෑ.  අනුමාන වැටහීමක් අනුමාන ඥානයක් තමයි තියෙන්නේ.  මේ මානසික මට්ටම සම්පූර්ණ වන විට ඒ අයගේ ඇහුම්කන් දීම සම්පූර්ණ වෙනවා.  සැක නැතිව, අනුමාන වශයෙන් නැතිව, ප්‍රත්‍යක්ෂ වශයෙන් ම සත්‍යාවබෝධය ලබනවා.  අන්න ඒ මට්ටම කියනවා ඒ අය බලාපොරොත්තු වූ ඵලය ලැබුණා කියලා.  ඒ ඵලයට පත් වූ විට නම් කරන්න පුළුවන් ශ්‍රෝතයට (ඇහුම්කන් දීමට) ආපන්න වූ (පත් වූ) සෝතාපන්න පුද්ගලයා කියලා.

එහෙනම්, සෝතාපන්න ඵලයට පත් වීමට ප්‍රථම පරම සත්‍ය හෙවත් ආර්ය සත්‍ය ගැන අනුමාන ඥානයට පත් වූ පුද්ගලයන් සිටියා.  ඒ අයගේ ස්වභාවය අනුව අපි ඒ අයව ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී කියලා වෙන් කරලා විග්‍රහ කර ගත්තා.  එතකොට ඒ අය “ආර්ය සත්‍ය ගැන අනුමාන ඥානයක් ඇති, ආර්ය සත්‍යයට සවන් දෙන, ආර්ය පුද්ගලයන් ඇසුරු කරන්නට සොයන... ආර්ය ශ්‍රාවකයෙක්” කියලා අප හඳුනා ගත්තා.  තවත් ආකාරයකින් කියනවා නම් “සෝතාපන්න මාර්ග අනුගාමික පුද්ගලයා” කියලා මේ අවස්ථාව හඳුන්වා දෙන්නට පුළුවන්.  ඉන් පසුව, ඒ අසා ගත යුතු ඇත්තට ඇහුම්කන් දීම සම්පූර්ණ වීමෙන් “සෝතාපන්න ඵල ලාභියා” බවට පත් වෙනවා.

දැන් ඉතින්, සත්‍යාවබෝධය ලැබුවා විතරයි නේ.  ලැබූ අවබෝධයෙන් විමුක්තිය ලබන්න ඕන.  සත්‍යාවබෝධය ලබන විට තමයි විමුක්තිය කුමක් ද?  විමුක්තිය පිණිස කෙසේ කටයුතු සිදු විය යුතු ද කියලා අවබෝධ වෙන්නේ.  අන්න ඒ ගමන තුල සකස් වන මානසික මට්ටම අනුව තමයි ඉතිරි බෙදීම් ලබා දෙන්නේ.  විමුක්තිය ලබන මානසික මට්ටමට කියන්නේ රහත් ඵලය කියලයි.  අරහත් ඵලය කියලත් කියනවා.  ඒ වෙනකම්; 

සෝතාපන්න මාර්ග අනුගාමික - සෝතාපන්න ඵලය, සකෘදාගාමී මාර්ග අනුගාමික - සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ග අනුගාමික - අනාගාමී ඵලය, රහත් මාර්ග අනුගාමික - රහත් ඵලය ලෙසින් ආර්ය පුද්ගලයන්ගේ මානසිකත්වය අනුව අවස්ථා 8කට බෙදා දක්වනවා. 

මේ ඉතින්, ඉතාමත් කෙටියෙන් තමයි විස්තර කලේ. දැන් මේ සසර ගමනේ සිතියම තුල ඔබ ඉන්නා තැන සහ යා යුතු තැන ගැන අදහසක් ලැබෙන්න ඇතිනේ.  ඉතින්, තවමත් ඔබට ගමනේ කෙළවර ගැන උනන්දුවක් නැති නම්... ඉන්න ස්වභාවයෙන් සතුටට පත් වෙලා නම් ඉන්නේ... පරම සත්‍ය මොනවද ආදිය ගැන හිතන්නටත් ඕනෑ නැත්නම්. කිසිම ගැටලුවක් නෑ. 

ඔබ වෙහෙසට පත් වෙන අවස්ථාවක් ඒවි!

එවිට කව්රුවත් කියන්නට අවශ්‍ය නෑ ඔබට මේ ගමනේ කෙළවරක් සොයා ගන්න කියලා.  අන්න එහෙමයි තමන්ව ම විනිවිද දකිමින් මේ ගමන සකස් වෙන්නේ.  ඉතින්, මේ කෙටියෙන් විග්‍රහ කල සිතියම දැකලා ඔබටත් වුවමනාවක් ආවා නම්... ඉන්නා තැනින් එක පියවරක් හෝ ඉදිරියට තියා ගන්නට අවශ්‍යතාවයක් ආවා නම් එය ඔබ ලද සැබෑම ජයග්‍රහණයක්!  එහෙනම්, ඉන්න තැන සහ පත් විය යුතු තැන ගැන අදහසක් ලැබෙන්න ඇතිනේ නේද?  කාරණා එකතු කර ගත්තාට නම් ඵලක් නෑ ඉතින්.  තමන්ගේ ඇතුලාන්තය විනිවිද දකිමින් තමන්ව අවබෝධ කර ගන්නට උත්සාහ කල යුතුයි.  ඒ සඳහා ඒ කාර්ය කර ගත් සහ ඒ කාර්ය කර ගැනීම පිණිස කටයුතු කරන පිරිස ඇසුරු කල යුතුයි.  එවිට ඔබට නිවැරදි, පැහැදිලි, නිරවුල් ගමනක් සකස් කර ගෙන සියලු ගමන් කෙළවර කර ගැනීමට හැකියි! 

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා