මේ වසරේ දිනුම කාටද?

ජනවාරි 2020 කතු වැකිය

මේ වසරේ දිනුම කාටද?

සටහනේ අන්තර්ගතය

ලැබූ 2020 නව වසරට සුභ පැතුම්. මම ඇසූ පුංචි කතාවකින් මේ අලුත් අවුරුද්ද සුභ කරගන්නට හැකි කතු වැකියක් සටහන් තබන්නට සිතුණා. මම විශ්වාස කරනවා මේ කතාව හොඳින් තේරුම් අරගෙන තම තමන්ගේ ජීවිත වලට එකතු කරගතහොත් මේ වසර සැබැවින්ම සුභ කරගන්නට ඔබට හැකි බව.

කතන්දරය මේකයි...

“වෘකයෝ දෙන්නෙක් ඉන්නවා... එක වෘකයෙක් අඳුරු ගති ඇත්තෙක්... මහා මූසලයි... ඉරිසියාව තරහ වෛර ක්‍රෝධ කුහක නපුරුකම් බහුල ගති ඇත්තෙක්.  අනෙක් වෘකයා ආලෝකමත්... කරුණාව ත්‍යාගශීලීබව මිත්‍රශීලි බව තමන්ටත් අනුන්ටත් උපකාර කරන ස්වභාවය බහුල ඇත්තෙක්.  මේ වෘකයෝ දෙන්නා නිතරම පොර බඳිනවා... එකිනෙකා පරයා ජයගන්නට වෙහෙස වෙනවා.... මේ වෘකයෝ දෙන්නාගෙන් කව්රු දිනයි කියලද ඔබට හිතෙන්නේ?”

ඔබට පුළුවන්ද පිළිතුර හිතන්න?

ඔව්! පිළිතුර තමයි ඔබ මේ දෙන්නාගෙන් පෝෂණය කරන්නේ කාවද ජයගන්නේ දිනන්නේ අන්න ඒ වෘකයායි. 

පොර බඳින අදහස් දෙකකින් ජයගන්නේ හැමවිටම ශක්තිමත් අදහසයි.  අදහස ශක්තිමත් වෙන්න නම් එය නිසි ලෙසින් පෝෂණය වෙලා තියෙන්න ඕන.  මේ වෘකයෝ දෙන්නා ඔබ තුල සැමවිටම පොර බඳින යහපත් සහ අයහපත් ප්‍රතිචාර කියන අදහස් දෙකයි.  ඕනෑම අවස්ථාවක ප්‍රතිචාරය යහපත්ද අයහපත්ද කියන ලෙසින් පොර බඳිනවා.  ජයගන්නේ කුමක්ද?  ඔබ වැඩියෙන්ම පෝෂණය කල අදහසයි. 

එසේ නම් මේ 2020 වසර තුල ඔබ පෝෂණය කරන්නේ කවා පොවා හැඩි දැඩි කරන්නේ කුමන වෘකයාවද කියන තීරණය ඔබ සතුයි.  අඳුරු වෘකයාවද? ආලෝකමත් වෘකයාවද? 

පසුගිය වසර පුරාවට පෝෂණය කලේ කොයි වෘකයාවද?  ලැබුණ ප්‍රතිඵලය මොකක්ද? 

වසර පුරාවට සෑම දිනයකම... සෑම මොහොතකම මෙන්න මේ වෘකයෝ දෙන්නා කෑම ඉල්ලනවා... ඒ අයව පෝෂණය කරන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා.  අරමුණක් පාසා මේ වෘකයෝ දෙන්නා පොර බඳිනවා... ඒ අරමුණක් පාසා ඔබ පෝෂණය  කරන්නේ කොයි වෘකයාවද අන්න ඒ වෘකයා දිනනවා. 

දිනය අවසාන වන විට ලැබෙන්නේ අඳුරු දුක භිය තරහ රැගත් අසහනකාරී ප්‍රථිපලයක් නම් ඔබ පෝෂණය කර ඇත්තේ කවර වෘකයාවදැයි ඔබට හිතාගන්නට හැකියි නේද?
දිනය අවසාන වන විට ලැබෙන්නේ අලෝකමත් සැහැල්ලු සැනසිලිදායක සතුට පිරුණ ප්‍රථිපලයක් නම් ඔබ පෝෂණය කර ඇත්තේ කවර වෘකයාවදැයි ඔබට හිතාගන්නට හැකියි නේද?

එසේ නම් කිසිම දිනක ඔබට ඔබගේ ජීවිතයේ ඔබ ලබන ප්‍රතිචාර වලට කාටවත් හෝ බාහිර කිසිවකට දොස් නගන්නට නොහැකියි.  මන්ද ඔබ ලබන්නේ ඔබ පෝෂණය කල දේට අනුව ලබන ප්‍රථිපලයක්මයි.  ඔබ ගත්ත තීරණයේ අවසාන ඵලයයි.  තීරණය ගත්තේ ඔබ මිස අන්කවරෙක්වත් නොවන බව දන්නේද ඔබමයි. 

එසේ නම් මේ ලැබූ 2020 නව වසර තුල නිවැරදි වෘකයාව පෝෂණය කරගන්නට ඔබට ප්‍රඥාවම ඉදිරිපත් වෙත්වා කියලා මෙත් සිතින් යුතුව සෙත් පතන්නම්.  නිවැරදි තීරණ ගන්නා... ප්‍රඥාව අවදි කරගන්නා... නිසි ඵල ලබන්නා වූ සැබෑවටම සුභ වසරකට සුපුරුදු පරිදි ආශිර්වාදය කරන්නෙමි.  තෙරුවණේ ආශිර්වාදයත් අඛණ්ඩවම ලැබෙත්වා!!! සියලු ලෝ සතට නිවී සැනසීමම වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා