වෙසක් තෙමඟුල

මැයි 2023 කතු වැකිය

වෙසක් තෙමඟුල

සටහනේ අන්තර්ගතය

වෙසක් මංගල්‍යය පවත්වන මාසයත් ලැබුවා ඔන්න. වෙසක් මාසේ පෝය දවස කියන්නේ ඉතින් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බෝසත් උපත, සම්මා සම්බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම කියන මංගල කාරණා තුන සිහිපත් කරගෙන සමරන දවසයි. ලෝකයේ බෞද්ධ යැයි සම්මත සියල්ලෝ ම පාහේ ඉතින් මේ දිනයට විවිධ වෙසක් සැරසිලි සමඟ දන්සැල් දෙමින් බුදු වදන සිහිපත් කර ගනිමින් විවිධ පුද පූජා වන්දනා කරමින් ගත කරන්නට තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ මාසයේ කතු වැකිය තුලින් සාමාන්‍යයෙන් නිතරම පාහේ අසන ප්‍රශ්නයකට කෙටි උත්තරයක් දීම පිණිස වෙන් කරන්නට සිතුවා.

පුංචි දරුවන්ගේ පටන් ගෙන වැඩිහිටියන් දක්වා ම සාමාන්‍යයෙන් අසන ප්‍රශ්ණයක් තියෙනවා.  ඒ තමයි “බෝසත් උපත හෝ වේවා සම්මා සම්බුද්ධත්වයට පත් වීම හෝ වේවා මංගල කාරණා තමයි... සතුටින් සමරන්නට හැකි කාරණා තමයි.  ඒත් අනේ ඉතින් ඒ වගේ උතුම් සම්මා සම්බුදු කෙනෙකුගේ විපත හෙවත් මරණය කොහොමද සමරන්නේ?  එය කොහොම ද සතුටට පත් විය හැකි කාරණයක් වෙන්නේ?  උන්වහන්සේ හිටියා නම් අපි තව බණත් අහ ගන්නවා නේ!” කියලා.

ඉතින්, සම්බුද්ධ පරිනිර්වාණය හෙවත් අපගේ සම්බුදු රඳුන්ගේ මරණය සම්බන්ධව මෙන්න මේ වගේ ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා.  ඉතින්, ඔබටත් එහෙම ප්‍රශ්න නැගෙනවා නම් ඒ ගැන ගැඹුරින් විමසා තමන් තුල සැඟවී ඇති කෙලෙස් හඳුනා ගන්නටත් එක්ක අප මේ ගැන කතා කරමු!

මරණය කියන්නේ ඉතින් සාමාන්‍ය බහුතරයක් පිරිසට සතුටට පත් විය හැකි කාරණයක් නෙවේ.  ඒකට “විපත” කියන්නෙත් ඒකනේ.  විශේෂයෙන් ම තමන් කැමති පුද්ගලයෙකුගේ වියෝව හෙවත් මරණය කියන්නේ ඉතින් අතිශයින් ම දුකට පත් වන කාරණයක්.  ඒ නිසා සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි දැඩි ඇල්මක් ඇති පුද්ගලයෙක් විදියට, සම්මා සම්බුදු රඳුන් ඉතාමත් විශේෂ කෙනෙක් විදියට දකින පුද්ගලයෙක් විදියට, මේ වගේ ප්‍රශ්න අහන එක සාමාන්‍ය දෙයක්.

නමුත් ඉතින්, මේ දේවල් ගැන ගැඹුරින් විමසා බැලීම තමයි ඇත්තට ම සිද්ධ වෙන්නේ ඕන.  ඒ නිසා සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් මේ තුන් ලෝකයට ම පහල වෙන්නට හේතු වෙන කාරණා මොනවා ද කියලා විමසා බලන්න.  මම පෙර දැකිය යුතු ධර්ම තුනක් කතු වැකියක් ඔස්සේ ත් මේ ගැන විග්‍රහ කරලා දුන්නා මතක ඇති. 

“මහණෙනි, මේ ධර්ම තුන ක් ලොව විද්‍යාමාන නොවේ නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනා හ. තථාගත ප්‍ර‍විදිත ධර්‍ම විනය ලොව්හි දීප්ත නොවන්නේ ය. කවර තුනෙක යත්: ජාතිය හා ජරාව හා මරණය හා යි. මහණෙනි, මෙ දහම් ගුණ ලොව්හි විද්‍යාමාන නොවේ නම්, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව නූපදනා හ. තථාගත ප්‍ර‍විදිත ධර්‍ම විනය ලොව දීප්ත නො වන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මේ දහම් තුන ලොව දීප්ත වේ ද එහෙයින් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝ ලොව උපදනා හ. එහෙයින් තථාගත ප්‍ර‍විදිත ධර්ම විනය ලොව්හි දීප්ත වෙයි.

ඉතින්, පේනවානේ “මරණය” කියලා කියන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නට පවා හේතු වන කාරණයක්.  එහි ගැඹුර විනිවිද දකිමින් තමයි උන්වහන්සේලා මේ අනන්ත සසර ගමනක ඉපදෙමින් මැරෙමින් යන ගමන සඳහටම ඉවරයක් කරලා නවත්තලා දාන්නේ.

යථාර්ථය අවබෝධ කර ගත්තේ නැති සාමාන්‍ය පුද්ගලයෙක් විදියට නම් මරණය ගැන සතුටු වෙන්න බෑ තමයි.  ඒකට හේතුව තමයි මරණය කියන්නේ ඉවරයක් නොවේ.  තවත් සාංසාරික දුක් රැසක ආරම්භයක් මයි.  නමුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් තමයි මේ සාංසාරික දුක් රැස අවසන් කර ගනිමින් සඳහටම මරණය කියන කාරණය අවසන් කර ගන්නා ආකාරය පෙන්වා දුන්නේ.  ඒ නිසා ඒ උතුම් සම්බුදු රඳුන්ගේ මරණය කියන්නේ මේ අනන්ත සසරේ අනන්ත මරණ සියල්ලේ ම අවසාන මරණයයි.  ඒ වගේම තමයි අවසාන මරණයක් ලබා ගන්නට අපටත් හැකි බව අපට ලැබෙන සාක්ෂියයි.  තව දුරටත් උපත් නෑ... තව දුරටත් මරණ නෑ... ඒ නිසා තමයි නැවත උපතක් නැතිව “නිවන” පූර්ණය කර ගත්තා වූ අදහසින් ඒ අවසාන මරණයට “පරිනිර්වාණය” කියලා නමක් දෙන්නේ.

ඉතින්, සැබෑම ශ්‍රාවකයෙක් නම් අප විසින් “යමක් හට ගත්තා නම් ඒ සියල්ලට ම අවසානයක් ඇති බව” අවබෝධ කර ගත යුතුයි. යමක උපතක් වේ නම් වෙනස් වීමට ලක් ව අවසානයේ මරණය ම දරා ගෙන ඉන්න බව අපට අවබෝධ විය යුතුයි.  සම්මා සම්බුදු කෙනෙකුට වුව ද ඒ කියන අවසානය උරුම බව සාක්ෂි සහිත ව අපට දැක ගන්නට හැකියි.  කොතරම් උසස් වුවත්... උතුම් වුවත්... හට ගත් සියලු දේ ට අවසානයක් ඇති බව අප විසින් නුවණින් දැකිය යුතුයි.  වෙසක් කියන්නේ අන්න ඒ ගැඹුර අපගේ ජීවිත වලට තව තවත් ලං කර දෙන දිනයක් බවට පත් විය යුතුයි.  ඒ වගේ ම තමයි එවන් වූ දුක් රැසක් නැවත, නැවත ලං කර දෙන මේ සංසාර චක්‍රය අවසාන කර ගත හැකි, අවසාන උපතක් සහ අවසාන මරණයක් ලබා ගත හැකි බව ක්‍රියාවෙන් ම ඔප්පු කල උතුමන් වහන්සේව සතුටින් සිහිපත් කරමින් ඒ අවසාන උපත, අවසාන මරණය අපට ද උරුම කර ගැනීමට කැප විය යුතුයි!

ඉතින්, තවමත් ඒ අවසාන මරණය සතුටු දායක මංගල කාරණයක් සේ දැනෙන්නේ නැත්නම් තවමත් ඒ උතුමන්ගේ ශ්‍රාවකයෙක් වීමට තරම් සුදුසුකම් අප ලබා නැති බව ද නුවණින් දකින්න ඕන.  ඒ වගේම තමයි කොතරම් “නිවෙන්න ඕන”, “බුදු කෙනෙකු කියූ නිවීම තමයි උතුම් ම කාරණය” කියමින් හිටියත් “නිවීම” කියන කාරණය ලැබෙන විට එයට සතුටු වෙන්නට අපට නොහැකි වෙලා නේ ද කියලා නැණවත් ව විමසා බලන්න. 

බුදු කෙනෙකුගේ නිවී යාමට... අනන්ත දුක් සහිත සසරක් සඳහටම කෙළවර කර ගැනීමට සතුටු වෙන්නට අපට බැරි වෙලා නම් ඒ කියන්නේ ඒ බුදු රඳුන්ගේ ඉගැන්වීම තවමත් අපට බොහෝ දුරයි නේද? 

ඉතින්, මේ විදියට බුදු වදන භාර ගන්නේ නැතිව ඒ බුදු වදනට සතුටු වෙන්නේ නැතිව කටයුතු කල නිසාම නේද අප තවමත් සසරේ?  බුදු රඳුන් සහ උන්වහන්සේගේ වදනට සතුටු වූ පිරිස නිවිලා ගිහින්.  සසරේ ඇත්තෙත් නෑ! නමුත් අපි? “හිටියා නම් හොඳයි තව බණ අහ ගන්න තිබුණා නේ” කියලා මේ අනාථ සසරක් ම පතනවා.  එහෙම හිතමින් උපත, වෙනස් වීම, මරණය කියන කාරණා ගැඹුරින් දකින්නට ප්‍රතික්ෂේප කරන අපිට බුදු හිමියන් හිටියත් වැඩක් වෙයි කියලා හිතෙනවා ද?

ඒ නිසා පුංචි දරුවන් ඇතුලු මේ වගේ ප්‍රශ්න නැඟෙන අපේ වැඩිහිටි පාර්ශවයට කියන්න තියෙන්නේ ජීවිතය ගැන ඔයිට වඩා ගැඹුරින් නුවණින් දකින්න උත්සාහවන්ත වෙන්න ඕන.  මේ ලෝකයේ උතුමන් යැයි සම්මත පිරිසක් විසින් මේ ජීවිතය ගැන ගැඹුරින් දකින්නට අපට මඟ පෙන්වා දීම් කරලා තියෙනවා.  ඒ දහම් විමසන්න අප දක්ෂ වෙන්න ඕන.  එවන් උතුමන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ උතුම් වූ විශේෂිත කාරණා සිහිපත් කරමින් සමරන්න යෙදෙන මෙවන් මාසයක ජීවිතය ගැන වඩාත් ගැඹුරින් දකින්නට උත්සාහවන්ත වෙන්න ඕන.

මේ සැමරීමට වෙසක් කූඩුවක් හදන්නෙත් ඒ ඇත්ත වටහා ගන්න යි.  ඒකත් විනාශ වෙන්න දෙන්නේ නැතිව ඉටි කොල එහෙම දාලා රැක ගන්න ක්‍රම හදලා මේ ඇත්තෙන් ඈතට දුවන්න වංචනික විදියට උත්සාහවන්ත වෙන්නේ නැතිව, මුලින් ම මේ හට ගත් සියල්ලට ම අනිවාර්යයෙන් ම උරුම අවසානයක් ඇති බව ගැඹුරින් දකින්න යොමු වෙන්න.  ඒ වගේ දේවල් රැස් කර ගෙන මාන්නයෙන් උඩඟු වෙමින් පොදි ගහන ජීවිතයක් වෙනුවට දන් දෙමින් තමන්ට ලැබෙන දේ අතහරින්නට හැකි පාඩම දන් සැලක් තුලින් ඉගෙන ගනිමින් වෙසක් මාසයේ දන් දෙන්න.  ලයිට් වැල් දාලා බබළන චෛත්‍යය... පන්සල්... ආදියෙන් මේ වෙසක් මාසයේ දෙන්නට හදන උතුමන්ගේ පණිවිඩය ලබා ගන්නට දක්ෂ වෙන්න.

තවත් වෙහෙසකාරී කාරණා රැසක් සිදු කරන... අන් අයට කරදරකාරී ලෙස ගත කරන දින කිහිපයක් වෙනුවට මේ සමරන්නේ කවරෙක් දැයි සිහිපත් කර ගෙන ඒ උතුමන්ගේ ඉගැන්වීම ජීවිතයට එකතු කරගන්නට තරම් දක්ෂ වෙන්න!  ඔබට සුභ අසුභ නිසි සේ හඳුනා ගන්නට හැකි සුභ වෙසක් මංගල්‍යයක් වේවා!  ප්‍රඥාවන්ත ව තෙමඟුල සිහිපත් කරගෙන සමරමින් නිවනට උදෙසා ම... අවසන් උපත... අවසන් මරණය උදෙසා ම පියවරක් තබා ගන්නා මාසයක් වේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා