අදහස වටහාගනිමු


අප අතර මේ වන විට ප්‍රකට ආගම් දහම් අතරින් ශුද්ධ වූ බයිබලය පරිහරණය කරන අනුගාමිකයන්, ශුද්ධ වූ කුරාණය පරිහරණය කරන අනුගාමිකයන් සහ ශුද්ධ වූ භගවත් ගීතාව ආදියත් වේද ග්‍රන්ථයනුත් පරිහරණය කරන කතෝලික, ඉස්ලාම්, හින්දු භක්තියන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඇලෙන ගැටෙන පොරකන දැවෙන මිනිසුන් නිවා සනසාලන්නට දරන උත්සාහය තුල තම තමන්ගේ ආගම් දහම්හි අදහස නිසි සේ තෝරා නොගෙන දැවෙන්නෝද බහුලයි. මෙය මේ වන විට නාමික බෞද්ධයන් අතරත් සිදුවන අනතුරක්. ඒ නිසාම තම තමන්ගේ දහම් තුල... තම තමන්ගේ ආගමික ඉගැන්වීම් තුල තම තමන්ගේ ජීවිතයට ලං කරගෙන සාමය සතුට සැබෑවටම උදාකරගත හැකි නිවී සැනසෙන මාර්ගයට මඟ පෙන්වන අදහස මතු කරගන්නට මේ කොටස තුලින් උත්සාහවන්ත වෙමු.

අපට ඕනෑම දෙයක් කියවන විට, අහන විට නොයෙක් නොයෙක් අදහස් දෙන්නට හැකියි. ඒත් සැබෑවටම යහපත උදාකරගැනීම පිණිස අපට මේ ප්‍රඥාවන්ත ඉගැන්වීම් තුල ගත යුතු අදහසක් තිබෙනවා නම් එයම උකහාගැනීම නොවේද වැදගත්? අන්න ඒ දේ වටහාගන්නට අප උත්සාහ කරමු... මේ පාඨයන් කියවන විට මට නැඟුන අදහස් තමයි මම මෙහි සටහන් තබන්නේ. ඔබට ඒ අදහස් ඔබේ යහපත පිණිස යොදාගන්නට හැකියි. සැබෑවටම ප්‍රඥාවන්තයෙක් වන්නට ඒවා යොදාගන්නට හැකියි. නැතිනම් නැවතත් ඇලෙන ගැටෙන පොරකන කුහක බව රජයන ඔබේ ආගමික ශාස්තෘන්ගේ නමටත් හානි වන ආකාරයේ දැවෙන මිනිසෙක් විය හැකියි. ඔබ වෙනුවෙන් ඔබ අවට සිටින්නවුන් වෙනුවෙන් වඩාත් සුදුසු වන්නේ කුමන ආකාරයේ පුද්ගලයෙකු බවට පත්වීමදැයි තීරණය කිරීම බුද්ධිමත් ඔබටම භාර කරමි!

යථාර්ථය අත්දැකගැනීමට ආගම් ජාති කුල මල තත්ව තානාත්තර භේදයන් බාධාවක් නොවේ කියලා මම නිතරම පෙන්වා දෙනවානේ. ඒ අදහසද සිත්හි තබාගෙන විවෘතව විමසා යහපත ඉටු කරගන්නට මේ වෑයමද හේතු උපකාර වෙත්වා!