සැබෑ යෝගාවචරයාගේ අනුහස් පහ

ජූනි 2023 කතු වැකිය

සැබෑ යෝගාවචරයාගේ අනුහස් පහ

සටහනේ අන්තර්ගතය

ත්‍රිපිටකය සහ අටුවා දහම් ඇසුරු කරන විට හමු වන නිවන් මඟ කළ එළි කර ගැනීමට ඉතාමත් වැදගත් දහම් කොටස් ඔබත් සමඟ බෙදා ගන්නට අප අමතක කරන්නේ නෑනේ. ඉතින්, මෙවර කතු වැකිය වෙන් වන්නෙත් එවැනි ඉතාමත් වැදගත් අපගේ නිවන් මඟට එකතු කර ගත යුතුම දහම් කොටසක්. එහි, අන්තර්ගත වන අදහස අවබෝධ කර ගැනීම තමයි වැදගත් ම කාරණය. ඒ නිසා ඒ ගැනත් විමසා බලන්නට මේ සටහන යොදා ගනිමු.

අපගේ සම්මා සම්බුදු රඳුන් විසින් පසේ බුදු වරුන් ගැන පෙන්වා දෙන අවස්ථා ත්‍රිපිටකයේ දැක ගන්නට තිබෙනවා නේ.  ඉතින්, බොහෝ වෙලාවට මේ මාතෘකාව ගැන පටන් ගන්නේ ම ඉතින්, අපේ ආනන්ද ආර්ය ශ්‍රාවකයන් වහන්සේ විසින් ම තමයි. ඉතින්, එක්තරා අවස්ථාවක මේ විදියට පසේ බුද්ධත්වය ගැන, පසේ බුදු රජාණන් වහන්සේලා ගැන කරුණු විමසන අවස්ථාවක ආනන්ද හිමියන් ට අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙන්න මේ අපූරු කාරණය මතු කර පෙන්වා දෙනවා.

“පඤ්චිමෙ, ආනන්ද, ආනිසංසා පුබ්බයොගාවචරෙ.  කතමෙ පඤ්ච? - ආනන්ද පූර්ව යෝගාවචරයා ගේ මේ ආනිසංස පහකි”
  1. “ඉධානන්ද, පුබ්බයොගාවචරො දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති” “ආනන්ද, මේ ජීවිතයේ දී ම මෙලොව දී ම කල් නොයවා අර්හත් ඵලය සාක්ෂාත් කරයි”

  2. “නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිකච්ච අඤ්ඤං ආරාධෙති, අථ මරණ කාලෙ අඤ්ඤං ආරාධෙති” “ජීවත් ව සිටිය දී ම අර්හත් ඵලය සාක්ෂාත් නොවුනහොත්, මිය යන මොහොතේ රහත් ඵලය සාක්ෂාත් කර ගනී.”

  1. “අථ දෙවපුත්තො සමානො අඤ්ඤං ආරාධෙති” නැත්නම්, දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වී රහත් ඵලය සාක්ෂාත් කර ගනී”

  1. “අථ බුද්ධානං සම්මුඛීභාවෙ ඛිප්පාභිඤ්ඤො හොති” “එසේත් නැත්නම්, සම්මා සම්බුදුවරයෙකු පහල වන කාලයේ දී සම්මා සම්බුදු වරුන් අබියස දී වහා ධර්මය අවබෝධය කරමින් රහත් ඵලය සාක්ෂාත් කර ගනී”

  1. “අථ පච්ඡිමෙ කාලෙ පච්චෙක සම්බුද්ධො හොතී” ති “නැත්නම්, සම්මා සම්බුදු වරුන් පහල නොවන කාලය ක දී පසේ බුද්ධත්වයට පත් වේ”

ඉතින්, පැහැදිලියි ද දැන් මේ කියන දේ?  අප මහා සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් මේ පෙන්වා දෙන්නේ අවංකව ම කැප වීමෙන් සත්‍ය ගවේෂණය කරන පුද්ගලයාට ලැබෙන විශේෂිත ආනිසංස 5ක් ගැනයි.  ඒ කියන්නේ, ඔබ නම්, ඔබ අවංකව ම ඔබගේ විමුක්තිය පිණිස කැප වෙනවා නම්, ඔබ අවංකව ම සත්‍ය කුමක් දැයි අවබෝධ කර ගැනීම පිණිස කැප වෙනවා නම් ඔබ බලාපොරොත්තු වන දේ... ඔබේ කැප වීමට ලැබිය යුතු ප්‍රතිඵලය කාරණා 5ක් යටතේ අනිවාර්යයෙන් ම ඔබට ලැබෙනවා කියල තමයි මේ කියන්නේ. 

පූර්ව යෝගාවචරයා කියන්නේ නිවන් මඟ කැප වීමෙන් කටයුතු කරන පුද්ගලයාටයි.  ගිහි වේවා පැවිදි වේවා ඔබ සත්‍ය සෙවීම පිණිස අවංකව ම කැප වෙලා නම් ඉන්නේ, විමුක්තිය පිණිස අවංකව ම නම් කටයුතු කරන්නේ.  පැවැත්මට, ගිහි බවට මුල් තැන නොදී අවංකව ම විමුක්තිය පිණිස නම් තමන්ගේ කැපවීම තියෙන්නේ අන්න එතකොට ඔබට මේ කියන කාරණා 5 යටතේ අනිවාර්යයෙන් ම ඔබ බලාපොරොත්තු වන විමුක්තිය ඔබට ලැබෙනවා.

පූර්ව භාග ප්‍රතිපදාව කියලත් අහලා ඇතිනේ... නිර්වාණ ධර්ම විග්‍රහයන් තුලින් නිරන්තරයෙන් ඔබට මේ මූලික පදනම නිසි සේ සකස් කර ගන්නේ කෙසේ ද කියන දේට මග පෙන්වා දෙන්නෙත් ඒ නිසාමයි.  යමෙක් අවංකව ම ඒ තමන්ගේ අරමුණ වෙනුවෙන් කටයුතු සම්පාදනය කර ගැනීම තමයි තවත් ආකාරයකින් පාරමිතා කියලත් කියන්නේ.  ඔබ සත්ධර්මාවබෝධය ලැබූ කෙනෙක් වුවත් නොවූ කෙනෙක් වුවත් ඔබ කරන දේට අවකංවම නම් කැප වෙලා ඉන්නේ... ඔබගේ ගුණ දහම් ප්‍රගුණ කර ගනිමින් සත්‍යාවබෝධය පිණිස කැප වෙනවා නම් ඔබට ඔබ බලාපොරොත්තු වන විමුක්තිය ලැබෙනවා.

එය මේ ජීවිත කාලය තුල දී ම වෙන්න පුළුවන්... මිය යන මොහොතේ දී සිදු වන්නට පුළුවන්... නැත්නම් “දිව්‍ය පුත්‍රයෙක්” කියන කාරණයෙන් පෙන්වන්නේ සුගතිගාමී අත්බවයක් ලබා ඒ ජීවිතයේ දී වෙන්න පුළුවන්... සම්මා සම්බුදු රඳුන් කෙනෙක් හමු වූ විට ඉතාමත් ඉක්මනින් සුවසේ රහත් ඵලය ලබන්නට පුළුවන්... ඒ කියන්නේ දාරුචීරිය තෙරුන් වගේ එහෙමත් නැත්නම් ඉක්මනින් ම බණ පදයක් දෙකක් අසා ගෙන රහත් වූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වගේ වෙන්න පුළුවන්... නැත්නම් සම්මා සම්බුද්ධ රත්නය පහල වන කල්ප ලඟ නැති කාලයක දී නම් පසේ බුද්ධත්වය ලබමින් තමන්ගේ විමුක්තිය ලබන්නට හැකියි කියලා තමයි මේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා දෙන්නේ. ඒ නිසා තමන් කරන දේ කරන්නේ අවංකව ම ද කියලා නිතර විමසන්න. එවිට ඔබට වරදින්නේ නෑ.  එවිට ඔබ ඒ වෙනුවෙන් කරන කියන සිතන කිසිවක් අපතේ යන්නේ නෑ. 

මේ විමුක්තිය කියන්නේ ම ගුණ ධර්ම වල පිරී ඉතිරී යාමක්.  ඒ ගුණ ධර්ම පිරුනේ පැවැත්මේ වැජඹෙන්න නොවේ.  පැවැත්මේ ඇති අසාරත්වය වැටහෙන පමණින් වැඩි වෙන්නේ ගුණ ධර්මයන් මයි.  තමන් වෙනුවෙන්... තමන්ගේ යැයි ගොඩ ගසා ගැනීම් නැති වෙනවා සේම... තමන් වෙනුවෙන් තමන්ව වත් රැක ගන්නට ඇති බලාපොරොත්තුව නැත්තට ම නැති වී යනවා.  ඒ තුල පිරී ඉතිරී තිබෙන්නේ කිසිදු බැඳීමකින් තොර වූ අසීමාන්තික මෛත්‍රියක්, කරුණාවක්, සහ වචනයෙන් විස්තර කරන්නට නොහැකි තරමේ ගුණ සමුදායක් පමණයි.  “අනුත්තර වූ පින් කෙත්” කියන්නෙත් ඒ නිසාමයි! 

ඉතින් ප්‍රඥාවන්ත ව මේ කාරණා තුල සැඟව ඇති පණිවිඩය හොඳින් ග්‍රහණය කර ගෙන තම තමන්ගේ නිවන් මඟ කල එළි කර ගනිත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා