ඔබ විශේෂයිද?

  20 මැයි 2011

මිනිසෙක් වී ඉපදීමේ සැබෑ අර්ථය කුමක් විය හැකිදැයි විමසා බැලීම ඉතාමත් වැදගත් වෙනවා.  එසේ විමසුවේ නැතිනම්, එකම දේ විවිධ අයුරින් සිදුකරමින් කාලය ගත කරනවා....

ඔබ මිනිසෙක් ලෙසින් ඉපදුනේ එසේ වන්නටද?

සතුන්ටත් කල හැකි ... සමහර අවස්ථා වලදී සතුන් මිනිසුන් වන අපටත් වඩා හොඳින් සිදුකරන ඒකාකාරී ජීවන රටාවකට හිර වෙන්නද වුවමනාව?

මේ වටිනාකම හඳුනාගන්නේ නැති තාක් හැම සත්වයෙකුටම පොදු සැනසීමක් නැති හැඟීම් සමඟ අතරමංවන්නට අපටත් සිද්ධ වෙනවා...

ආශාවන්...  තරහා ගැටීම ද්වේශය...  ජීවිතයේ සැබෑ අරුත හඳුනානොගැනීම... මිනිස් ජීවිතයෙක් ලබාගෙන ඉපදුනේ ඇයි දැයි නොදැනීම... ඇත්ත කුමක්දැයි නොදැනීම...

මේ දේවල් සාමාන්‍ය දේවල් විදියට නේද ඔබට හිතෙන්නේ?

මට නම් සිතුනේ කිසිදු විශේෂත්වයක් නැති හිස් වූ අර්ථයක් නැති ඒකාකාරී වැඩපිලිවෙලක් වෙනුවෙන් මගේ වටිනා මිනිස් ජීවිතය කැප කිරීම හරිම මෝඩකමක් කියලයි...

අවිද්‍යාව... අනුවණකම... මෝඩකම... නොදැනුවත්කම... මුලාවෙන් සිටීම... ඇත්තටම මේවා ආශ්වාදජනකයි...

ඒත් විමසා බැලිය යුතු කාරණය නම් මේ ආශ්වාදයේ ගිලෙමින් තව තවත් අනුවණයෙක් ලෙසින් ජීවිතය ගත කිරීම සුදුසුයිද?  අර්ථාන්විතද? 

මේ මම ජීවිතය දුටු ආකාරයයි...

සමහර විට ඔබටත් ඔබගේ වටිනාකම හඳුනා ගන්නට මේ දේවල් උපකාරයක් වේවි...

අහුමුලු වල සැඟවුණු මෝඩකම් නැති... යටපත්වූ අනුවණකම් නැති...

සැබෑම ප්‍රඥාවන්තයෙක් වන්නට ඔබටත් සුදුසු කාලය උදාවී ඇත්දැයි නුවණින් විමසා බලන්නට බුද්ධිමත් ඔබට කරන ආරාධනායයි!