පින් බිමක වරුණ

සම්මා සම්බුදු හිමියන්ගේ කාලයටත් පෙර පටන්ගෙන පැවත නටඹුන්ව ගිය අප්‍රමාණ සිද්ධස්ථානයන්ගෙන් පිරුණු රටක් තමයි ලක්බිම කියලා කියන්නේ. බැලූ බැලූ සැමතැනකම නටඹූන්ව ගිය අපූරු නිර්මාණ සොයා ගැනීම අපහසුවක් නම් නෑ. මේ බොහෝ ස්ථාන ආධ්‍යාත්මික ශක්තියට උපකාර කරන අධික ශක්තීන්ගෙන් යුතු ස්ථාන බවට පත්ව තිබෙන්නේ ඒවායේ වැඩ වාසය කරන්නට යෙදුන උතුම් අරිහතුන්වහන්සේලා නිසාමයි. එවන් වූ ස්ථාන වලට යන්නට යෙදුන අවස්ථාවලදී ලබාගත් ඡායාරූපය කිහිපයක් මෙහි දමන්නේ සෑම ආකාරයකින්ම නිවන් මඟට උපකාර කරන උතුම් පුණ්‍ය භූමියකට කෘතෝපහාරයක් ලෙසින්මයි!  

කොතරම් පෞඪ ඉතිහාසයක් තිබුණද මේ සියලු පින්තූර වල ගැබ්වන්නේ නටඹුන්ව ගිය දෑමයි... විටෙක භික්ෂුන්වහන්සේලා පිරිසක් තමන් වහන්සේලා වැඩ වාසය කරන ආරාමය කොතරම් ශක්තිමත්ද... කොතරම් අපූරුදැයි උදම් අනමින් නිවනින් බැහැරවන අවස්ථාවක් දැක බුදු හිමියන් එර්දියෙන් අගතැන්පත් අග්‍රශ්‍රාවක මුගලන් හිමියන් අමතා මෙසේ පැවසුවා... අර අවිද්‍යාවෙන් අතරමං වෙලා ඉන්න භික්ෂු පිරිසට ඒ ආරාමයේ සැබෑව පෙන්වලා දෙන්න කියලා... ඉතින් අපේ මුගලන් හිමියන් ඒ ආරාමය අසලට ගොස් තමන්වහන්සේගේ පාදයේ මහපට ඇඟිල්ල තබා ප්‍රාතිහාර්යයක් පෑවා... අර මහා ශක්තිමත් නොකැඩේවි කියලා හිතුන මහා ආරාමය භූමිකම්පාවකට ලක්වූනා සේ සෙලවෙන්නට පටන්ගත්තා... ඒ අවස්ථාව නුවණින් වටහාගත්ත උදම් අනමින් සිටි භික්ෂු පිරිස අනේ අපේ මුගලන් හිමියන්ගේ මහපට ඇඟිල්ලටත් සොලවන්නට හැකි දෙයකට නොවේද අප මුලාවෙලා සිටියේ යැයි වටහාගෙන විදසුන් වඩා අරිහත්වයට පත්වුණා...  

ඉතින් මේ ලෝකයේ කැඩී බිඳී විනාශ නොවන, කඩා බිඳ විනාශ කරන්නට නොහැකි, කිසිම දෙයක් නෑ.  කොතරම් පෞඩ වුවත්... කොතරම් වටිනාකමක් තිබුණත් ඒ සෑම දෙයකටම අවසානයක් තියෙනවා.  ඉතින් මේ දේවල් ඔස්සේ අපටද ඉතිහාසයක් තිබුණාය... අපටද රැකගන්නට දේ තිබේය යැයි පවසා දැවෙන මඟ තෝරා  නොගෙන බුදු හිමියන් පෙන්වූ නොදැවෙන නිවෙන පැවැත්ම අවසන් කරන නිසි මඟ තෝරාගන්නට ප්‍රඥාවන්ත වන්නට ඔබ සැමටත් හැකිවේවා යැයි මෙත් සිතින් පතන්නෙමු.  

"නිර්වාණ ධර්ම" මේ පිටු කිිහිපය කොතරම් අපූරුවුවත් නටඹුන්ව යන ස්වභාවය ඔබට පෙන්වාවි...

මේ සියලු දෑ විදසුන් නුවණ සඳහාමයි!